Image

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අරමුණයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අරමුණයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"ඩිජිටල්කරණය" තුළින් මහජන සේවා වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත සහ පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්, රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ජූලි 02) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ 4 වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කර සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍යතුමිය ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ලංකා බැංකුවේ (BOC) මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි මහජනතාව ගෙන් ගාස්තු අයකරන අවස්ථාවන්හිදී ක්‍රෙඩිට් (Credit) සහ ඩෙබිට් (Debit) කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.

එම උත්සවයේ දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

ජනතාවට සිය සේවා ලබාගැනීමට ගතවන කාලය අවම වෙනවා

''වර්තමාන ලෝකයේ වේගයෙන් සිදුවන ඩිජිටල්කරණයට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. මෙම ක්‍රමවේදය හරහා සේවාලාභීන්ට මුදල් රැගෙන පැමිණීමේ අවදානම මඟහැරෙනවා, ඉතා කෙටි කාලයකින් තමන්ට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාගැනීමට හැකියාවත් මේ මගින් ලැබෙනවා. අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ඇරඹෙන නව POS ගෙවීම් ක්‍රමවේදය හරහා ජනතාවට මුදල් නෝට්ටු ළඟ තබාගෙන යාමකින් තොරව බැංකු කාඩ්පත් මගින් සෘජුවම ගෙවීම් සිදුකිරීමේ හැකියාව,ගනුදෙනු ඉතා ඉක්මනින් නිමකළ හැකි බැවින්, ජනතාවට සේවාවන් ලබාගැනීමට ගතවන කාලය අවම වීම, විශාල මුදල් ප්‍රමාණයක් අත තබා ගැනීමට අවශ්‍ය නොවන බැවින් මූල්‍ය වංචා හා මුදල් අස්ථානගත වීමේ අවදානම අවම වීම, නවීන තාක්ෂණය භාවිතයෙන් ගෙවීම් සිදුකිරීම හරහා රටේ සමස්ත ඩිජිටල් ආර්ථික සංවර්ධනයට දායක වීම, සියලුම ගනුදෙනු විගණනයට ලක්කිරීම පහසු වන අතර, රජයේ ආදායම් නිවැරදිව වාර්තාගත වීම යන ප්‍රතිලාභ හිමි වෙනවා. අද දින සිටම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ සේවාව මහජනතාව සඳහා විවෘතවන අතර මෙමගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ මූල්‍ය පාලනය වඩාත් විනිවිද පෙනෙන සුළු සහ ජනතා හිතකාමී පරිසරයක් කරා පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.''

මෙම අවස්ථාවට: කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.පී. ප්‍රදීප් යසපාලන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ඇතුළු රෙජිස්ට්‍රාර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න