Image

මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය දින හතම ප්‍රතිකාර සේවා සඳහා යොමු කරනවා - අමාත්‍ය නලින්ද ජයතිස්ස

මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය දින හතම ප්‍රතිකාර සේවා සඳහා යොමු කරනවා - අමාත්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය උපරිම ධාරිතාවයකින් හා කාර්යක්ෂමතාවයකිත් ඉදිරියේ දී දින හතම ප්‍රතිකාර සේවාවන් සඳහා යෙදවීමට ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කළ ෆ්ලොරෝ ඩිඔක්සි ග්ලුකෝස් (Fluorodeoxyglucose - FDG) නිෂ්පාදනය භාවිත කරමින් (PET) පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාවේ ප්‍රශස්ත කාර්ය සාධනය සහ පූර්ණ ක්‍රියාකාරී ධාරිතාවය ඉහළ නැංවීම නිල වශයෙන් ආරම්භ කිරීමේ විශේෂ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

උත්සවය පසුගිය දා පෙරවරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙතෙක් වැය කළ විදේශ විනිමය ද රටතුළ ඉතිරි කර ගැනීමට හැකියාව

නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ Access Engineering PLC ආයතනයේ සහයෝගීතාවයෙන් මෙම පරිවර්තනීය ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ෆ්ලොරෝ ඩිඔක්සි ග්ලුකෝස් Fluorodeoxyglucose (FDG) ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කිරීමෙන් මෙතෙක් සතියකට රෝගීන් 10 දෙනෙකුට පමණක් සීමා වී ඇති නිවැරදි පිළිකා රෝග විනිශ්චය, එවන් විනිශ්චය අවශ්‍ය දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රමාණයකට සිදු කිරීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම මෙම කාර්ය සඳහා මෙතෙක් වැය කළ විදේශ විනිමය ද රටතුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙතෙක් FDG ඖෂධය විදේශයන්ගෙන් ආනයනය කිරීම හේතුවෙන් රෝගීන්ට PET-CT පරීක්ෂණ සඳහා දිගු කාලයක් බලා සිටීමට සිදු වූ අතර, ඉහළ පිරිවැයක් ද දැරීමට සිදුවිය. එහෙත් දේශීය නිෂ්පාදනය ආරම්භ වීමත් සමග එම ගැටලුව සැලකිය යුතු ලෙස අවම වන අතර, රෝගීන්ට වේගවත්, කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇත.

ව්‍යාපාර කටයුත්තකට වඩා ජාතික මට්ටමේ වැඩසටහනක්

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකක් ස්ථාපිත කර තිබෙන බව පැවසී ය. මෙම යන්ත්‍ර සඳහා අඛණ්ඩව (FDG) සපයා ගැනීමේ දී ප්‍රායෝගික ගැටලු ගණනාවක් පැවති බවත් වසර 13ක කාලයක් මෙම ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමේදි අවහිරතා රැසකට මුහුණ දීමට සිදුවු බව සිහිපත්කළ අමාත්‍යවරයා මෙහි අර්ධ ආයු කාලය විශේෂයෙන්ම ප්‍රධාන ගැටලුවක් වූ බව ද සඳහන් කළේ ය. සියලු බාධා මැද මෙරටට ආනයනට කළ ද එය උපරිම ප්‍රයෝජනයට ගතහැකි ප්‍රතිශතය ඉතා සීමා සහිතව පැවති බව ද පැවසීය. Access සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මකකළ මෙම නිෂ්පාදන ක්‍රියාවලිය ව්‍යාපාර කටයුත්තකට වඩා ජාතික මට්ටමේ වැඩසටහනක් බව පෙන්වා දුන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අභියෝගය වෙනත් ක්‍රමයකට ජයගැනීමට හැකියාවක් නොමැති බවද පැවසීය. සෞඛ්‍ය පද්ධතියේ සේවයේ නිරත අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍යවරු, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පැවරී තිබෙනුයේ රාජකාරියට වඩා වැඩි වගකීමක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ස්කෑන් ප්‍රමාණය සතියට දින තුනක් දක්වා වැඩි කිරීමේ බලාපොරොත්තුවක්

ජාතික රෝහලේ පවතින මානව සම්පත උපරිමව යොදාගෙන ඔවුන්ගේ සහය සහිතව දැනට සතියට දිනක් කරන ස්කෑන් ප්‍රමාණය සතියට දින තුනක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, එසේ කළ විට දැනට සිදුකරනු ලබන ප්‍රමාණය හතර ගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. මෙම ක්‍රමවේදය ඉදිරියේ දී අපේක්ෂා රෝහලටත් යොදා ගැනීමට අදහස් කරන බව ද පැවසී ය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා බෝ නොවන රෝගවලින් මෙරට ජනතාව ගලවා ගැනීම මෙන්ම එම රෝග වැලඳීමෙන් ජනතාව මුදා ගැනීම සඳහා උපරිමයෙන් කටයුතු කරන අතරම රෝග කලින් හඳුනා ගැනීම සහ අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේලාවට ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව ද සදහන්කර සිටියේ ය. මෙය ඉතා බැරෑරුම් අභියෝගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය මෙරටට පමණක් සීමා වූ සෞඛ්‍ය ගැටලුවක් නොවන බවත්,ලෝක පරිනාමයෙන් මුහුණ දෙන අභියෝගයක් බව ද පැවසී ය.

පොදු ආපන ශාලාවලටත් මාර්ගෝපදේශ මාලාවක්

මෙරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට උපරිම වෙහෙස මහන්සිය දරන බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා එහි එක් පියවරක් ලෙස පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් ආපනශාලාවලට ආහාර සම්බන්ධව මාර්ගෝපදේශමාලාවක් හඳුන්වා දුන් බවද පැවසීය. මේ සඳහා මෙරට ජනතාව ගෙන් ඉතා සාධනීයව ඉහළ ප්‍රතිචාර ලැබෙන බව මෙහි දී සිහිපත්කළ අමාත්‍යවරයා පොදු ආපන ශාලාවලටත් මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

මෙරටින් දිනකට නව පිළිකා රෝගීන් සියයක් වාර්ථා වන බවත් දිනකට පිළිකා රෝගීන් හතලිහක් පමණ මිය යන බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, වෛද්‍ය ඉන්දික ජාගොඩ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල, Access Engineering PLC ආයතනයේ සභාපති සුමාල් පෙරේරා, අධ්‍යක්ෂ ශමල් පෙරේරා යන අය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

WhatsApp Image 2026 07 03 at 10.29.29 AM

WhatsApp Image 2026 07 03 at 10.29.31 AM 1

WhatsApp Image 2026 07 03 at 10.29.31 AM

WhatsApp Image 2026 07 03 at 10.29.32 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න