Image

2020 සිට 2025 දක්වා රුපියල් ලක්ෂයකින් මිලදී ගන්න පුළුවන්කම තිබුණු භාණ්ඩ ගන්න දැන් රුපියල් එක්ලක්ෂ විසිහතර දාහක් වැය වෙනවා - රවින්ද්‍ර මුදලිගේ

2020 සිට 2025 දක්වා රුපියල් ලක්ෂයකින් මිලදී ගන්න පුළුවන්කම තිබුණු භාණ්ඩ ගන්න දැන් රුපියල් එක්ලක්ෂ විසිහතර දාහක් වැය වෙනවා - රවින්ද්‍ර මුදලිගේ

ආර්ථික විද්වතුන් පවසන ආකාරයට ට මුදලේ මුහුර්ත අගය අඩු වී ඇති බවත්, එබැවින් කලින් රුපියල් ලක්ෂයකින් මිලදී ගත හැකිව තිබූ භාණ්ඩ සඳහා මේ වන විට රුපියල් එක්ලක්ෂ අනූදාහක් පමණ වැය කිරීමට සිදු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් රවීන්ද්‍ර මුදලිගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ''සබන් බෝල ආර්ථිකය - හති වැටිච්ච ජීවිතය" මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ, කොළඹ සිංහ සමාජ ශාලාවේ අද (06) පැවති සම්මන්ත්‍රණයේ දී ය.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවින්ද්‍ර මුදලිගේ...

2018 දිත් ලංකාව ඉහළ මැදි ආදායම් ලාභී රටක්

"අපි දන්නවා පහුගිය කාලේ බොහොම ආඩම්බරෙන් ආණ්ඩුව කිව්වා ලංකාව ඉහළ මැදි ආදායම් ලාභී රටක් වුණා කියලා. මහ බැංකු වාර්තාව කියන විදිහට අපේ රටේ ආර්ථික වර්ධන වේගය 2025 වෙද්දි 5%ක් සහ 2026 මුල් කාර්තුව වෙද්දි 5.1%ක් ලෙස තමයි සටහන් වෙලා තිබුණේ. මේ වාර්තාවලට අනුව ලංකාවෙ ඒක පුද්ගල ආදායම ඩොලර් 4636ක් දක්වා වර්ධනය වෙලා. පිටින් බලන කෙනෙක්ට හිතෙන්නේ මේ සංඛ්‍යාලේඛන අනුව ලංකාව සුඛිත මුදිත රාජ්‍යක් වෙනවා කියලා. හැබැයි අපි හිතනවා මේ ඉලක්කම්වලින් ඇතුළේ තියෙන ඇත්ත ආර්ථික තත්ත්වය අපි කියවගන්න ඕන කියලා. මොකද 2018 දිත් ලංකාව ඉහළ මැදි ආදායම් ලාභී රටක් වුණා. එහෙම තිබිලා තමයි 2022දී බංකොලොත් වෙලා තෙල් ටික, ගෑස් ටික, විදුලිය නැතුව අර්බුදයට ගියේ.

මේ ආර්ථික අර්බුදය ව්‍යුහාත්මකව ම අර්බුදයට යන්න තිබුණු එකක්

මේ වෙද්දි ලංකාවේ ජන ගහනයෙන් 22.5%ක් ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ. ලංකාවේ ජන ගහනයෙන් 33%ක් ඉන්නේ ආහාර අනාරක්ෂිතතාවක. ආර්ථික විද්වතුන් කියන විදිහට මුදලේ මුහුර්ත අගය අඩු වෙලා. ඒ නිසා 2020 සිට 2025 දක්වා කාලය තුළ රුපියල් ලක්ෂයකින් මිලදීගන්න පුළුවන්කම තිබුණු භාණ්ඩ සඳහා මේ වෙද්දි රුපියල් එක්ලක්ෂ විසිහතර දාහක් පමණ වැය වෙනවා. හැබැයි ඊට සාපේක්ෂව ජනතාවගේ වැටුප් වර්ධනය වෙලා නැහැ. නිසි කෑම වේලක් ගන්න විදිහක් නැති නිසා, නිසි සෞඛ්‍යයමය රැකවරණයක් අහිමි වීම නිසා ලංකාවෙ දරුවන්ගෙන් 42.2%ක් ඉන්නේ බහුවිධ දරිද්‍රතාවයෙන් පෙලනවා. අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15.4%ක් ඉන්නේ අඩු බර මට්ටමේ. ලංකාවේ ගැබිනි මව්වරුන්ගෙන් 14%කට ලේවල හිමොග්ලොබින් අඩුයි. ඒ නිසා අපි හිතනවා ඔය සබන්බෝල වගේ පුම්බලා පෙන්නන ආර්ථික විජ්ජාවෙන් ඇස් අන්ධ කරගැනීම නවත්තලා ඇත්ත තත්ත්වය ගැන බරපතළ සාකාච්ඡාවක් දැන්වත් සමාජය විසින් ගත යුතුයි කියලා. දැන් සමහරු උත්සහා කරනවා මේ අර්බුදය වර්තාමන ආණ්ඩුවේ පාලනයේ දුර්වලකම කියලා පෙන්වන්න. තව පැත්තකින් ආණ්ඩුවේ න්‍යායාචාර්‍යවරු උත්සහ කරනවා මේ අර්බුදය පසුගිය රාජපක්ෂ රෙජීමයේ ප්‍රශ්නයක් විදිහට හුවා දක්වන්න. අපි දන්නවා මේ අර්බුදයට රාජපක්ෂලා ගේ ඉඳලා දශක හතක් මේ රට පාලනය කරපු සියලු පාලකයන් ගේ ක්‍රියාකලාපයන් බලපෑවා. හැබැයි මේ ආර්ථික අර්බුදය ව්‍යුහාත්මකවම අර්බුදයට යන්න තිබුණු එකක්. 1978 නව ලිබරල් ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් මොහොතේ ඉඳලම ක්‍රියාත්මක වුණු ආර්ථික ක්‍රමය මේ අර්බුදයට වග කියන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ සිසටම් චේන්ජ් එකකින් මෙහා මුහුණු මාරුවකින් හරි ආණ්ඩු මාරුවකින් හරි මේ අර්බුදය විසඳන්න බැහැ කියලා.

මේ ආණ්ඩුව කර තියාගෙන යන්නේ පරණ නවලිබරල් ආර්ථික වට්ටෝරුව ම යි

අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේ ජනතාවට බලාපොරොත්තු පොරොන්දු රැසක් දීලා. මිනිස්සුත් හිතුවා ඔවුන් ගේ අතීත භාවිතාවත් එක්ක වෙනසක් කරයි කියලා. හබැයි දැන් NPP ආණ්ඩුව කරේ තියාගෙන බහුතරයකට පිළිගන්න වෙලා තියනවා මෙතන අලුත් දෙයක් වෙන්නේ නැහැ කියලා. ජාතික ජන බලවේග ආණ්ඩුවත් කර තියාගෙන යන්නේ පරණ නවලිබරල් ආර්ථික වට්ටෝරුවම තමයි. IMF එක කියන දේවල් වලට ඔළුව පහත් කරන එක හැරුණම ස්වාධීන ආර්ථික දැක්මක් ගැන කථිකාවක් අදටත් ආණ්ඩුව පැත්තෙන් දකින්න ලැබෙන්නේ නැහැ . ආර්ථික ප්‍රතිපත්තිය එහෙම වෙද්දි සමහරු හිතුවා කමක් නැහැ දේශපානලන සංස්කෘතියේ හරි වෙනසක් වෙයි කියලා. හැබැයි පහුගිය කාලේ ඉන්දියාව එක්ක හොර ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. ඇමරිකාව එක්ක වගේම ජපානය එක්කත් යුද ගිවිසුම් අත්සන් කළා. මේ ගිවිසුම් එකක්වත් තවම රටේ ජනතාවට හෙළිදරව් කරලා නැහැ. ආණ්ඩුව ඇමරිකානු සහ ඉන්දියානු යුද ගිවිසුම් අස්සේ හිර වෙමින් යන මේ ගමන ඇතුළේ අපිට පේන්න තියෙන්නේ ලංකාව දැවැන්ත භූ දේශපාලන උගුලක සිර කිරීමක්. යහපත් දේශපානලන සංස්කෘතියක් ගැන කයිවාරු ගහගෙන ආව ආණ්ඩුවක් තමයි දැන් ජනතාවට හංගලා හොර ගිවිසුම් අත්සන් කරන්නේ.

මේ ආණ්ඩුව හිටගන්නෙත් මහාපරිමාණ ප්‍රාග්ධනය එක්ක

අද වෙද්දි පොහොර ටික නැතුව, වීවලට මිලක් නැතුව ගොවියන්ට පාරට බහින්න වෙලා. එහෙම තත්වයක් ඇතුළේ තමයි මහාපරිමාණ හාල්මෝල් හිමියෝ සුඛෝපභෝගී වාහන අරගෙන සංදර්ශන පෙන්වමින් ඉන්නේ. අපි මුල ඉඳල ම කිව්වා මේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි, මේගොල්ලො හිටගන්නේ මහාපරිමාණ ප්‍රාග්ධනය එක්ක කියලා. දැන් ඒක හොඳටම පැහැදිලියි. මේ ආණ්ඩුව ගන්න තීන්දු තීරණවල වාසිය යන්නේ ඩඩ්ලිලාට, හාන්ස්ලාට කියන එක දැන් හොඳටම පැහැදිලියි. අපි දන්නවා 2022 රට බංකොලොත් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ ආවේ මේ දිරාවැටුණු නවලිබරල් ආර්ථිකයට මුක්ක්කු ගහලා රෙපයාර් කරල ගන්න. දැන් ඒ මුක්කු ගහපු ආර්ථිකය ඉස්සරහට ඇදගෙන යන වගකීමට තමයි ජාජබ ආණ්ඩුව කරගහලා තියෙන්නේ. දැන් ජාජබ ආණ්වේ වගේම විපක්ෂයේ ඉන්න ආර්ථික ඔස්තාර්ලටත් IMF ආර්ථික වැඩපිළිවෙළෙන් මෙහා දැක්මක් නැහැ. ඔවුන් හැමෝටම තියෙන්නෙ කරන්නේ කවුද කියන ප්‍රශ්නය මිසක් කරමින් යන්නේ මොකක්ද කියන ප්‍රශ්නය නෙවෙයි. දැන් මේ 2027 මාර්තු 20 වෙද්දි අපේ රටේ ක්‍රියාත්මක කරපු 17 වෙනි ආර්ථික වැඩපිළිවෙළ අවසන් වෙන්න නියමිතයි. හැබැයි අපි ආපස්සට හැරිලා බැලුවොත් IMF වැඩපිළිවෙළ කරගහගෙන ගිහිල්ලා ලංකාවට ලැබුණු දෙයක් නැහැ. ජනතාවගේ බදුබර එන්න එන්නම වැඩිවෙලා ඉවරයි.

2028න් පස්සේත් ලංකාව ණය ගෙවීමට නොහැකි අධි අවදානම් තත්ත්වයක

බැංකු පොලී වැඩිවෙලා; අනිත්පැත්තෙන් වෑන් එකක්, ත්‍රීවීල් එකක් දුවන සාමාන්‍ය මනුස්සයට දැන් ඒක නඩත්තු කරගන්න බැරි තත්ත්වයක ඉන්නේ. හැබැයි එහෙම තියෙද්දි ධනපතියෝ ටිකක් තමන්ගේ සාක්කු පුරවගෙන තියනවා. දැන් IMF එකම කියන විදිහට 2028න් පස්සේත් ලංකාව ඉන්නේ ණය ගෙවීමට නොහැකි අධි අවදානම් තත්ත්වයක. ඒ කියන්නේ ඉස්සරහටත් නැවත IMF ගිවිසුමකට ආණ්ඩුව යන්න නියමිතයි. හැබැයි මේ යන ගිවිසුම් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගියාට වඩා භයානක ගිවිසුමක් වෙන්න නියමිතයි. මොකද IMF එකේ අරමුණ වුණේ මුල ඉඳලම අපිව බෙල්ල මුලට හිර කරලා ඔවුන්ට අවශ්‍ය කරන බරපතළ නවලිබරල් ආර්ථික වෙනස් කම් ටික කරගන්න එක. ඒ නිසා ඉස්සරහට අපි රටක් විදිහට මුහුණ දෙන්න නියමිත ආර්ථික අර්බුදය සහ එහි දී අපි හිට ගන්න ඕන තැන දැන්ම අපි කියවගන්න ඕන. මොකද ඉස්සරහට බරපතළ රැකියා අර්බුදයක් එන්න නියමිතයි. ඉස්සරහ අවුරුදු කිහිපය ඇතුළේ අපේ ණය බර තව ඩොලර් බිලියන 2කින් ඉහළ යනවා කියලා දැන්ම ම IMF එක කියලා ඉවරයි. නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය  යනාදි ක්ෂේත්‍රවලට ඉදිරියේ දී බරපතළ ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි. මේ හැම එකක් අස්සෙ ම ප්‍රහාරය එල්ල වෙන්නේ මේ රටේ වැඩ කරන පන්තියට. ඒ නිසා දැන්වත් මේ ආර්ථික අර්බුදය සඳහා ක්‍රම වෙනසක් දක්වා වූ පරිවර්තනයක් අවශ්‍යයි. ඒ සඳහා එකතුවෙමු, සංවිධානය වෙමු කියලා අපි මේ රටේ සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරනවා...!''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න