මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සුදු සීනි ටොන් 4250කට අධික ප්‍රමාණයක් ගබඩා කර තබා ගනිමින්, ඒවා වෙළඳපළට යැවීමට සූදානම් කළේ යැයි කියන කැලණිය විල්සන් සීනි සමාගමේ සේවකයින් සිවුදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා ය.
පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන කඩිනම් කරන ලෙසට පාරිභෝගික අධිකාරියට නියෝග කළා ය.
තොග ගබඩාව සීල් තබයි
අදාළ සීනි තෝගයේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන තෙක් සීනි ගබඩාව සීල් තබන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සීනි ගබඩාවට ආරක්ෂාව සපයන ලෙසට පෑලියගොඩ පොලිසියට නියෝග කළා ය.
පාරිභෝගිකව අධිකාරී පනත ප්‍රකාරව පාරිභෝගික නිලධාරීන්ට සීනි ගබඩාවට සීල් තැබිය නොහැකි බැවින් සීනි ගබඩාවේ සීල් ඉවත් කරන ලෙසට සමාගමේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය පාරිභෝජනයට නුසුදු ආහාර ද්‍රව්‍යයක් තිබෙන බැවින් ගබඩාවේ තහනම ඉවත් කිරීමට නොහැකි බව පෙන්වා දුන්නා ය.
සේවකයින් අධිකරණයට ඉදිරිපත් කළ හැකි ද...?
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පෑලියගොඩ පෙතියාගොඩ සූරවීර ගබඩාවේ මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් නිකුත් වූ සුදුසු සීනි තොග නැවත ඇසුරුම් කර වෙළඳපොළට යැවීමට සූදානම් වූ පුද්ගලික සමාගමක සැකකරුවන් සිවු දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන බව ය. ඒ අනුව පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙන උදිත ප්‍රියදර්ශන , ජීව කුමාර, කරුණා විධාන සහ තිලකරත්න වල්ගම යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පාරිභෝගික අධිකාරියේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ආයතනයක සේවකයින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමක් නිසා දැයි විමසා සිටියා ය.
මහේස්ත්‍රාත්වරිය: මේ සමාගම මොකක්ද?
විමර්ශන නිලධාරීන්: පැමිණිල්ලේ සටහන් කරලා තියෙනවා ස්වාමීනි, විල්සන් ට්‍රේඩින් පුද්ගලික සමාගම.
මහේස්ත්‍රාත්වරිය: පනත ප්‍රකාරව සැකකරුවන් නිවැරදිව නම් කරන්න. අදාළ කාර්ය සටහන් ඇතුළත් කරන තෙක් පැමිණිලි විභාගය පසුවට කල් තබනවා. යැයි ප්‍රකාශ කළා ය.
අදාළ කාර්ය සටහන් නැවත ඇතුළත් කිරීමෙන් පසුව පැමිණිල්ල කැඳවූ මහේස්ත්‍රාත්වරිය මෙසේ සඳහන් කළා ය.
''පාරිභෝගික පනත යටතේ සමාගමක හිමිකරුවන් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි. සේවකයින් සැකකරුවන් ලෙස නම් කරන්නේ ඇයි? සමාගමේ හිමිකරුවන් ලෙස නම් හතරක් සඳහන් වෙනවා. ලොකු මාන්න හේමන්ත ජයලත්, ලොකු මාන්න හේමාන්න සුමිත් ප්‍රසන්න දයාසිරි, කසුන් ජීවනාත් හා අරුණ හැන්නදිගේ.''
විමර්ශනය නිලධාරින්: අත්අඩංගුවට ගත් සේවක සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරලා, හිමිකරුවන්ට චෝදනා ගොනු කරනවා.
මහේස්ත්‍රාත්වරිය; චෝදනා ගොනු කරන්න කලින් විමර්ශන කළ යුතුයි . විමර්ශන කරන්න නම් ඒ සියල්ල අධිකරණයට නොසඟවා හෙළි කළ යුතුයි. පනත දන්නේ නෑ වගේ නිලධාරීන් වැඩ කරනවා. සේවකයින් සැකකරුවන් ලෙස නම් කිරීමෙන් ප්‍රයෝජනයක් නෑ. කල් ඉකුත් වු තොග තබා ගත්තා කියලා මෙ අය මොනවා කරන්නද? වහාම සැකකරුවන් නම් කරලා නිවැරදිව ඉදිරි නියෝග ලබාගෙන කටයුතු කරන්න.''
මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
පැමිණිල්ල සහ විත්තිය යන පාර්ශ්ව දෙකේ ම සාම්පල රස පරීක්ෂක වෙත
විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.
''පසුගිය 06වන දින කැලණිය ලිපිනයේ අංක 05 ගබඩාවේ සීනි මෙට්ටික් ටොන් 4250 පමණ අත්අඩංගුවට ගත්තා. කිලෝ පනහේ මිටි රාශියක්, එය තවම ගණනය කළේ නැහැ. ගබඩාවේ ඉදිරිපසට හා පසුපස දොරවල් ඉබි යතුරු දමා සීල් තබා තිබෙනවා. කල්ලිකුත් වූ සීනි රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. 2024 වසරේ කල්ඉකුත් වූ බවට අනාවරණය වෙනවා. ඒවා නැවත ඇසුරුම් කර වෙළඳපොළට යැවීමට සූදානම් කර තිබිය දී තමයි අත්අඩංගුවට ගත්තේ. මේ සීනි වල වටිනාකම රුපියල් කෝටි 85 ක් විතර වෙනවා.''
මහේස්ත්‍රාත්වරිය: කල් ඉකුත් වූ සිනි පමණක් නෙවෙයි, සියලුම සීනිවල සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන්න. පැමිණිල්ල මගින් ඉදිරිපත් කරන ඒවා වගේම විත්තිය මගින් ඉදිරිපත් කරන සාම්පලත් රස පරීක්ෂකට යැවිය යුතුයි. ඒ අනුව ඊළඟ දිනයේ දී සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. අදාළ වාර්තා යවන තෙක් මෙම ගබඩාවට ආරක්ෂාව සපයන ලෙසට පෑලියගොඩ පොලීසියට නියෝග කරනවා.
ආනයන කළ හෝ මිලදී ගත් බව ඔප්පු කරන්න
සැකකාර සමාගම සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රවින්ද්‍ර කන්දේ ගෙදර කරුණු දක්වමින් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පාරිභෝගිකය පනත 10 වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොමැති බැවින් ගබඩාවට සීල් තැබිය නොහැකි බව පෙන්වා දුන්නේය . ඒ අනුව අදාළ ගබඩාවට සීල් තැබීම සිදු නොකොට කල් ඉකුත් භාණ්ඩවලට පමණක් සීල් තැබීම සිදු කරන ලෙසට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය මෙසේ පැවසුවා ය.
''මෙතන තියෙන්නේ මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු සීනි, සුදුසු නුසුදුසු ගණනය කරන්නේ කොහොමද? ප්‍රායෝගික දුෂ්කරතා තිබෙනවා. ඒක නිසා විත්තිය කියන ඉල්ලීම ඉටු කරන්න බැහැ. විත්තියට පුළුවන් තමන් සුදුසු ලේඛන මත ආනයනය කරලා මිලදී ගැනීම් හෝ යම් ක්‍රියාදාමයක් තිබෙනවා නම් ඒක අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න. එවිට අධිකරණයට එය සලකා බලන්න පුළුවන්. විමර්ශන කටයුතු කඩිනම් කරන්න පැමිණිල්ලට නියෝග කරනවා.''
සැකකරුවන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය අගෝස්තු 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පාරිභෝගික අධිකාරියට නියෝග කළා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
