Image

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ නඩුවේ විමර්ශන අවසන්; නීතිපතිට තවම මතයක් නැති ලු!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ නඩුවේ විමර්ශන අවසන්; නීතිපතිට තවම මතයක් නැති ලු!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයා ගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අද (08) අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

විමර්ශන වාර්තා මේ වන විටත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව නීතිඥවරිය ප්‍රකාශ කළා ය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව පවත්වාගෙන යන මෙම නඩුව අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කළේ ය.

මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි නලින්ද හේරත් විසින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලදී.

අද දින නඩු විභාගය සඳහා පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් පෙනී නොසිටියේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධියේ දී අවභාවිත වූවා යැයි කියන මුදල්වලින් වැඩිම කොටසක් වැය වී ඇත්තේ වාහන ලබා දීමේ කටයුතු වෙනුවෙන් බවයි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ වෙත මෙම වාහන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය රජය බවත් එම වාහන සැපයීමේ දී ඔවුන් අනුගමනය කරන නිල ක්‍රමවේද ඇතුළත් විශේෂ වාර්තාවක් ද අනුජ ප්‍රේමරත්න අධිකරණයට ඉදිරිපත් කළේ ය.

බ්‍රිතාන්‍ය රජයේ නිල ලේඛනවලින් මේ බව තහවුරු වන බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ද මෙම වාර්තාව උපයෝගී කරගත හැකි බව නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙහිදී පෙන්වා දුන්නේ ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ නීතිමය පියවර පිළිබඳ නීතිපතිවරයා ගේ ස්ථාවරය එදිනට දැනුම් දෙන ලෙස නියෝග කරමින් නඩුව ලබන සැප්තැම්බර් මස 30වන දා දක්වා කල් තැබීමට නියෝග කළේ ය.

මූලාශ්‍ර - whatnews.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න