Image

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම 30වන දා කැඳවයි

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම 30වන දා කැඳවයි

සමාගම් දෙකක් අතර පවතින චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව, 'සිලෝන් නිවුස් පේපර්ස්' පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, හිටපු අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන 30වන දා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේ ය.

මෙම පෙත්සම කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍ර සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අය ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ය.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ, 'කේසර ලංකා' පෞද්ගලික සමාගම සහ 'සිලෝන් නිවුස් පේපර්ස්' සමාගම අතර පැවති චෙක්පත් ගනුදෙනුවකට අදාළව පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි. මෙම පැමිණිල්ලට අදාළව දැනටමත් සිය සමාගමේ සේවකයන් කිහිප දෙනකු ගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇති අතර, එම සිද්ධිය මුල්කර ගනිමින් තම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටිරාන් අලස් ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව පෙත්සම්කරු කියා සිටී.

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බව තර්ක කරන පෙත්සම්කාර සමාගම, අදාළ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් සහ මෙම විමර්ශනය සම්බන්ධයෙන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ 'කේසර ලංකා' පෞද්ගලික සමාගම ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර ඇත.

පෙත්සම සලකා බැලූ අධිකරණය, එය ලබන 30වන දා යළි කැඳවීමට නියම කළේ ය.

 

saroj

 

 

 

Saroj Pathirana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න