Image

මීරිගම පිහිටි වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට...

මීරිගම පිහිටි වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට...

මෙරට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත තුළින් සහ නිසි කළමණාකරණයක් තුළින් උපරිම ධාරිතාවෙන් ප්‍රයෝජන සහ සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා අද (12) මෙම අදහස් පළ කළේ “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” ජනතා අයිතියට පත් කළ අවස්ථාවේ දී ය.

මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” අද (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.

වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් (Kidney Stone Disease) යනු ශ්‍රී ලංකාවේ බහුලව ම දැකිය හැකි රෝග අතුරෙන් එකකි. දිවයින පුරා විශේෂඥ මූත්‍ර රෝග ශල්‍ය වෛද්‍යවරුන් ගෙන් සමන්විත විශේෂඥ මූත්‍ර රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ප්‍රතිකාර සඳහා ඉල්ලුම ඉතා ඉහළ තත්ත්වයක පවතී. විශේෂයෙන්ම යටිතල පහසුකම්වල සීමා, ශල්‍යාගාර අවමවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය මේ සඳහා ප්‍රධාන හේතු වී තිබේ. වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවට ඇස්තමේන්තු කර ඇත.

සමස්ත ජනතාවට ම නීරෝගීව සිටීමට වැඩපිළිවෙළක්

උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ''මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” මෙරට සෞඛ්‍ය සේවාවේ තීරණාත්මක, දැවැන්ත ඉදිරි පියවරක් බවත්, සෞඛ්‍ය ක්ෂෙත්‍රයට අමතරව පාර්ශ්ව රැසක් සම්බන්ධ කර ගනිමින් යමක් තීන්දු කළහොත් කළ හැකි බවට වූ හොඳම උදාහරණය මෙම ජයග්‍රහණය සමග සපථ කරන බව යි. මෙරට වකුගඩු ආශ්‍රිත ගල් රෝගයෙන් පෙළෙන රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා රෝගී ප්‍රතිකාර සේවා සහ රෝග පාලන කටයුතු සඳහා මෙම මධ්‍යස්ථානය මෙරට ජනතාවට සහ සෞඛ්‍ය සේවාවට මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ද කියා අවධාරණය කළේ ය. මෙරට සෞඛ්‍ය සේවාවේ බොහෝ අවස්ථාවල පොරොත්තු ලේඛණ පවතින බවත්, එම පොරොත්තු ලේඛණ මග හැර ඉතා සීමිත පිරිසක් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට යොමුවන තත්ත්වයක් නිර්මාණය වී පවතින බවත්, එසේ නොවී සමස්ත ජනතාවට ම නීරෝගීව සිටීමට සෞඛ්‍ය සේවාවට පිවිසීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත්, නීති සහ ප්‍රඥප්තිවලට මුවා වී සේවා පවත්වාගෙන ගිය ද ඉන් ජනතාවට ප්‍රතිලාභ අත් නොවන බව ද සඳහන් කළේ ය.

එමෙන්ම මෙරට සෞඛ්‍ය සේවාවෙි නිසි සැලසුම් සහගත වැඩපිළිවෙලකට අනුගත නොවී ඉදිකළ ඌණ උපයෝජිත ගොඩනැගිලි රාශියක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා උපකරණ ලබාගැනීමට උනන්දු වුවත් එම උපකරණ තුළින් උපරිම ධාරිතාවෙන් සේවා ලබා ගැනීම සිදු නොවන බැවින් සෞඛ්‍ය සේවාව තුළ වන ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත තුළින් උපරිම ප්‍රයෝජනය ලබාගත යුතු බව ද අමාත්‍යවරයා මෙහි දි වැඩිදුරටත් අවධාරණය කළේ ය.

පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා ප්‍රායෝගික ජාතික උපාය මාර්ගයක්

වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවේ ගැටලුකාරි තත්ත්වයට විසදුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බළකාය වෙත ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි වසර 20 ක් සිදු කර ගත නොහැකිව තිබූ මෙම කර්තව්‍ය මාස 03 ක් වැනි කෙටි කළක් ඇතුළත සිදු කරමින් ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) සහයෝගය සහිතව වකුගඩු ගල් රෝගීන් සඳහා විශේෂිත වූ මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සංකල්පය ප්‍රවර්ධනය කිරීම මත මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කළ හැකි වූ අතර, මේ දක්වා එම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහයෝගය ද එම සංගමය නොඅඩුව ලබා දුන්නේ ය.

ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා ප්‍රායෝගික ජාතික උපාය මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන විශේෂඥ මූත්‍ර රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට තම රෝගීන් මෙම මධ්‍යස්ථානයට රැගෙන විත්, නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ශල්‍යකර්ම සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදු කරන්නේ ය. ඒ සඳහා රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු සියලු ම විශේෂඥ මූත්‍ර රෝග ශල්‍ය වෛද්‍යවරුන් සඳහා එහි දොරටු විවෘත වීම ද විශේෂත්වයකි. එමෙන්ම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භයේ දී ප්‍රකට ව්‍යවසායකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය අවශ්‍ය නවීන උපකරණ සහ තාක්ෂණ පහසුකම් රැසක් ලබාදීමෙන් ද සහාය දැක්වීමට කටයුතු කර ඇත.

meerigama 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න