මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී ඉහළ නැංවූ පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප, අදාළ ආයතනවල සේවක සේවිකාවන්ට මෙතෙක් නොගෙවා ඇති ආයතන පිළිබඳ වහාම සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) කම්කරු අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන්ට මෙම අවම ජාතික වැටුප නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් පදනම් කරගනිමිනි. කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම හමුව සඳහා අදාළ පෞද්ගලික ආරක්ෂක ආයතනවල ඉහළ කළමනාකාරිත්වය මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
වත්මන් රජය බලයට පත්වීමට ප්‍රථම පුද්ගලික අංශයේ අවම ජාතික වැටුප පැවතියේ රුපියල් 17,500ක් ලෙස ය. අවම දෛනික වැටුප සටහන් වූයේ රුපියල් 700ක් ලෙස ය. නමුත්, නව රජය බලයට පත්වීමෙන් පසු සේවක සුබසාධනය උදෙසා අදියර දෙකක් යටතේ මෙම වැටුප් තල 71%ක ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය කිරීමට පියවර ගෙන තිබිණි.
මතු දැක්වෙන්නේ ඒ අනුව ක්‍රියාත්මක වූ වැටුප් සංශෝධන පිළිවෙළ යි.
පළමු අදියර (2025 අප්‍රියෙල් 01 සිට): අවම මාසික වැටුප රු. 17,500 සිට රු. 27,000 දක්වාත්, අවම දෛනික වැටුප රු. 700 සිට රු. 1,080 දක්වාත් ඉහළ නැංවී ය.
දෙවැනි අදියර (2026 ජනවාරි 01 සිට): අවම මාසික වැටුප රු. 27,000 සිට රු. 30,000 දක්වා ද, අවම දෛනික වැටුප රු. 1,080 සිට රු. 1,200 දක්වා ද යළිත් වරක් ඉහළ නැංවී ය.
මෙම වැටුප් වැඩිවීම් ක්‍රියාත්මක කිරීමට සියලුම පෞද්ගලික අංශයේ ආයතන නීත්‍යනුකූලව ම බැඳී සිටියද, ඇතැම් ආයතන සහ අතරමැදි කොන්ත්‍රාත්කරුවන් මෙතෙක් එම සහනය සේවකයන්ට ලබා දී නොමැති බව මෙහි දී අනාවරණය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
