කේපාපිලයි, පලාලි, කාංචි ගම්වල ජනතාව ගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන දැනට අවුරුදු 36ක් අවසන් බවත්, යුද්ධය අවසන් වී වෙලා අවුරුදු 14කට පසුව ද එම ජනතාවට හිමි ඉඩම් නැවත ඔවුන්ට ලබා දීමට මේ රටේ පාලකයන්ට තවමත් නොහැකි වී ඇතැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "යුද්ධයේදී රජයේ හමුදාව විසින් පැහැරගත් ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනු" යන තේමාව යටත් සම අයිතිය ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා ජනතා සංසදය එක්ව යාපනය කේපාපිලයි, පලාලි, කාංචි ප්‍රදේශවල ජනතාව සමග අද (17) යාපනය නගරයේ චෙන්දේ චෙල්වා ශාලාවේ පැවති විශේෂ සාකාච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා...
යාපනයේ ජනතාව තවමත් ජීවත් වෙන්නෙ එළිමහන් සිරකඳවුරක
"අද අපි සම අයිතිය ව්‍යාපාරය විදිහට කේපාපිලයි, පලාලි,කාංචි ගම්වල ජනතාව එක්ක සාකාච්ඡා කළා. අපි දන්නවා ඒ ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන දැනට අවුරුදු 36ක් වෙනවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 14කට පස්සෙත් මේ රටේ පාලකයන්ට තවම බැරි වෙලා තියනවා මේ ඉඩම් නැවත ඒවගේ පදිංචි වෙලා හිටපු ජනතාවට ලබා දෙන්න. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. මොකද අදටත් ඒ ජනතාව තමන්ගේ ඉඩම් ඉල්ලලා අරගල කරනවා සඨන් කරනවා. විවිධ දේශපානලකයෝ ඇවිල්ලා මේ ජනතාවට ඒගොල්ලන්ගේ ඉඩම් දෙනවා කියලා පොරොන්දු වෙලා ගියා. හැබැයි ඒ පොරොන්දු සීමා වුණේ ඡන්දෙ වෙනකල් විතරයි. මේ ආණ්ඩුව එහෙම නොවෙයි කියලා හිතලා තමයි යාපනේ දෙමළ ජනතාව මෙවර ජාජබ ආණ්ඩුව බලයට ගේන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ. හැබැයි දැන් අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා අවුරුදු දෙකකට ආසන්නයි. හැබැයි අදටත් උතුරේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්වල දාගෙන ඉන්න හමුදා කඳවුරු ඉවත් කරන්න කිසිම සූදානමක් නෑ. තවමත් යාපනයේ ජනතාව ජීවත් වෙන්නේ එළිමහන් සිරකඳවුරක. අදටත් සමහර පල්ලි කෝවිල් තියෙන්නේ හමුදා කඳවුරු ඇතුලේ. ඒවට තමන්ගේ ආගම අදහන්න යනවනම් අයි ඩී එක අනිවාරෙන් පෙන්නන්න වෙලා. සමහර හමුදා කඳවුරුවල අක්කර ගණං පොල් වතු. යාපනේ අහිංසක ගොවියා කඩේට පොල් ගෙඩිය දාන්නේ රුපියල් 100ට නම් හමුදාව පොල් විකුණනවා රුපියල් 50ට. ගොවියගේ පුතා කියපු අනුර දිසානායකගෙන් අපි අහනවා එතකොට කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා.
උතුරේ ජනතාවගෙන් උදුරාගත් ඉඩම් වහාම ඒ ජනතාවට ලබා දෙන්න
අපි දන්නවා දකුණේ මෙහෙම අක්කර දහස් ගණං අත්පත් කරගෙන හමුදා කඳවුරු දාලා නැහැ. සාමාන්‍යෙන් හමුදා කඳවුරු මිනිස් ජනාවාස ආශ්‍රිතව ඉඳිකරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒකෙන් ජනතාවට විශේෂයෙන් දරුවන්ට කායික මානසික බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් දශක ගණනක් තිස්සේ යාපනේ මිනිස්සුන්ට හමුදා කඳවුරු අස්සේ ජීවත් වෙන්න වෙලා. මෙච්චර කාලයක් දකුණේ සිංහල සමාජයට මේ ප්‍රශ්නය දැනුණේ නැහැ. තමන්ගේ ඉඩම් ඉල්ලලා වසර ගණනක් දෙමළ ජනතාව කරගෙන යන සාධාරණ අරගලයට දැන්වත් දකුණේ සමාජය තමන්ගේ සහයෝගය ලබා දිය යුතුයි. ඒ නිසා සම අයිතිය ව්‍යාපාරය විදිහට අපි සූදානම් මේ සටනට අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවගේ දේශපානලන සහ සිවිල් අයිතිවාසිකම් නැවත දිනාගැනීමේ අරගලයක් වටා එකතුවෙමු කියලා අපි මේ රටේ සියලු සටන් කරන බලවේගවලට ආරාධනා කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවටත් කියනවා වහාම උතුරේ ජනතාවගෙන් උදුරාගත් ඉඩම් ඒ ජනතාවට ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
