Image

ඊයේ සිට ඍජු ගුවන් ගමන් ඇරඹි 'වියට්ජෙට්' (VietJet) ගුවන් සේවාව

ඊයේ සිට ඍජු ගුවන් ගමන් ඇරඹි 'වියට්ජෙට්' (VietJet) ගුවන් සේවාව

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කරමින්, වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන VietJet, කොළඹ සහ හෝ චි මිං නගරය (Ho Chi Minh City) අතර සිය කුලුඳුල් ඍජු ගුවන් ගමන් සේවාව ඊයේ (අගෝස්තු 18) නිල වශයෙන් ආරම්භ කළේ ය.

 මෙම ඍජු සේවාව, සංචාරකයින් සහ ව්‍යාපාරිකයින් සඳහා නව දොරටු රාශියක් විවෘත කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, VietJet ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත පැමිණීම ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඔවුන් ගේ නව මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් ද පිරිනැමී ය. මෙම ඍජු ගුවන් ගමන් සේවාව ආරම්භ වීම, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ රාජ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

VietJet හි මෙම නව ගුවන් මාර්ගය, ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට මනා රුකුලක් වනු ඇත. මේ යටතේ, දෙරට අතර සංචාරක පැමිණීම් ඉහළ නැංවීම සඳහා දෙපාර්ශවය ම ඒකාබද්ධව නව සංචාරක පැකේජ හඳුන්වා දීමට සැලසුම් කර ඇත. විශේෂයෙන් ම, දෙරටේ පවතින ආගමික සහ සංස්කෘතික සබඳතා මූලික කරගනිමින් ආගමික සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමට සහ සංස්කෘතික, සෞඛ්‍ය මෙන්ම වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇත.

වියට්ජෙට් ගුවන් සේවය, සතියකට තුන් වතාවක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. හෝ චි මිං නගරය, VietJet හි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන බැවින්, ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ අනෙකුත් නගර වෙත මෙන්ම, නැගෙනහිර ආසියාව, ගිනිකොණදිග ආසියාව, ඕස්ට්‍රේලියාව සහ තවත් බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න