බදු ගෙවීමට සූදානම් දේශීය ව්‍යාපාරිකයින් පවා අත්අඩංගුවට ගෙන ඔවුන් තළා පෙළා දැමීමට මේ ආණ්ඩුව කටයුතු කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) කෑගල්ල දිස්ත්‍රිකයේ දැරණියගල ආසනයේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමිනි.
එම රැස්වීමේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
බදු ප්‍රතිපත්තිය සාධාරණ විය යුතුයි
''දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා. අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවාද? මොකක් හෝ චෝදනාවක් දාලා. දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල්වලට, කඩවල්වලට, කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසරණ වෙලා. විදුලි බිල එන්න එන්න වැඩි වෙනවා. තෙල් මිල වැඩි කරනවා. අසීමිත බදු ගහනවා. ඒ තෙල් මිලයි විදුලි බිලයි බදු ප්‍රතිපත්තියයි එක්ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආර්ථිකය ව්‍යාපාරය ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. අද දේශීය ව්‍යාපාරිකයා ගේ කොඳු නාරටියට ගහන්න ආණ්ඩුව පටන් අරන් තියෙනවා. ආණ්ඩුව කොළය වහලා ගහන්නේ. දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා. අපේ හාමුදුරුවනේ බදු ප්‍රතිපත්තිය සාධාරණයි නම්, ආණ්ඩුවට ගෙවන බද්දට සාධාරණීකරණයක් වෙනවා නම් ව්‍යාපාරිකයා බදු ගෙවන්න ලෑස්තියි.
බදු මුදල්වලින් ජනතාවට සාධාරණයක් කරන්නේ නැහැ
අසීමිත බද්දක් ගහලා, ව්‍යාපාර වට්ටලා, ව්‍යාපාරිකයා ගේ ආදායම නැති කරලා, පිට රටවලින් ලංකාවේ නිෂ්පාදනය වන දේවල් පවා අසීමිත විදිහට පිටරටින් ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාරිකයා ගේ ආදායම වට්ටලා දාලා, අවසානයේ නඩුත් දාලා, හිරෙත් දාලා, ව්‍යාපාර වසන තැනට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන්නේ. එවැනි අපේ රටට නොගැළපෙන, මේ රටේ පුරවැසියාට නොගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා. හැබැයි දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරයා හා ආණ්ඩුව කියනවා අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ ගිණුමේ කෝටි ගණන් තියෙනවාලු. අසීමිත බදු ගහලා ආණ්ඩුව ගන්න බදු මුදල්වලින් ජනතාවට සාධාරණයක් කරන්නේ නැහැ. ඒවා ආණ්ඩුව ගිණුම්වල තියාගෙන ඉන්නවා කියලා පහුගියදා ඇවිල්ලා කියනවා හැකර් කෙනෙක් පැනලා ඒක අරගෙන ගිහිල්ලාලු.
නොදන්නා පුද්ගලයෙක් ජනතාව ගේ මුදල් හොරාට අරගෙන යනවා
දැන් මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඒ බද්දෙන් ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ගෙවල් ටික හැදෙන්නේ නැහැ. ඒ බද්දෙන් ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ලැබෙන්නේ නැහැ. ඒ තමන් ගෙවන බදු මුදලින් ගමේ ඉස්කෝලේ වැසිකිළිය, කැසිකිළිය, වහල හැදෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික කාර්ය මණ්ඩලය ලබා දෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ වැඩිම ආදායම ලබපු ආණ්ඩුව කියන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම ආදායම් ලබපු කාලසීමාව කියන ආණ්ඩුව, ඒ ආදායම තමන් ගේ ගිණුමට දාලා, ඒ ගිණුමෙන් නොදන්නා පුද්ගලයෙක් හොරාට අරගෙන යනවා. අවසානයේ බදු ගෙවපු මනුස්සයට සාධාරණයක් වෙන්නෙත් නැහැ, රටේ පුරවැසියට සාධාරණයක් වෙන්නෙත් නැහැ. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි දෙපැත්තට බෙදිලා බැණ ගන්නවා. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි එකිනෙකාට චෝදනා කරගන්නවා. දැන් කවුද මේ ගත්තු සල්ලි ගත්තේ? හැබැයි එකක් පැහැදිලියි. සල්ලි ගත්තු එකා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ ඔබට. ගත්තු එක්කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ පුරවැසියට. දෙගොල්ලෝ ගහගන්නවා කාගෙන්ද වැරදුණේ කියලා. හැබැයි දෙගොල්ල ම එකතු වෙලා කියනවා වැරදිච්ච කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. බාල ගල් අඟුරු ගෙනාවා. අද වෙනකම් බාල ගල් අඟුරුවලට ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද ?''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
