මීට පෙර ‘Rizana: A Caged Bird’ ලෙස නම්කර තිබූ, වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති චිත්‍රපටය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සහ සම-නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් ගේ අවසරයකින් තොරව: ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය කිරීම, විකිණීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ජගත් සුමතිපාලට සහ සුමති ස්ටුඩියෝස් ආයතනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරන ලද්දේ චන්ද්‍රන් රත්නම් විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.
නම සහ අන්තර්ගතය වෙනස් කරලා
පැමිණිලිකරු චෝදනා කරන්නේ; විත්තිකරුවන් තමන් ගේ දැනුවත්භාවයකින් හෝ බලයකින් තොරව චිත්‍රපටයේ නම වෙනස් කර, එහි අන්තර්ගතය වෙනස් කරමින් සහ නිර්මාණාත්මක අයිතිය වෙනත් පාර්ශ්ව වෙත පවරමින් එය වාණිජමය වශයෙන් භාවිත කිරීමට උත්සාහ කරන බව යි.
එමෙන්ම, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ කතෘත්වය පැමිණිලිකරු නොවන වෙනත් පුද්ගලයින්ට පවරමින්, එහි ජවනිකා වෙනස් කිරීමට, නැවත රූගත කිරීමට හෝ තෙවන පාර්ශ්ව වෙත අයිතිවාසිකම් පැවරීමට උත්සාහ කරන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිලිකරු ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම චිත්‍රපටයේ මුල් සංකල්පය, අධ්‍යක්ෂණය සහ සම-නිෂ්පාදනය චන්ද්‍රන් රත්නම් ගේ අසමසම නිර්මාණාත්මක දැක්ම සහ කලාත්මක ප්‍රකාශනය බවයි.
බුද්ධිමය දේපළ පනත යටතේ නිර්මාණකරුවකු ගේ අයිතිවාසිකම් සහ කර්තෘත්වය ආරක්ෂා කර ඇති බවත්, අවසරයකින් තොරව චිත්‍රපටයේ අන්තර්ගතය වෙනස් කිරීම සහ භාවිත කිරීම මගින් පැමිණිලිකරු ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
සෞදි අරාබියේ සේවය සඳහා ගොස් පසුව මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික බාලවයස්කාර ගෘහ සේවිකාවක වූ රිසානා නෆීක් ගේ ඛේදජනක කතාපුවත ඇසුරින් මෙම ‘Rizana: A Caged Bird’ චිත්‍රපටය නිර්මාණය කර ඇත.
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දෙන අඩන්තේට්ටම් සහ තරුණ කාන්තාවන් ගේ අනාථභාවය පිළිබඳ පණිවිඩය ලෝකයට ගෙනයෑම තම මානුෂීය සහ කලාත්මක වගකීමක් ලෙස සලකා චන්ද්‍රන් රත්නම් මෙම නිර්මාණය සිදුකර ඇත.
පැමිණිලිකාර චන්ද්‍රන් රත්නම් වෙනුවෙන්: ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමග නීතිඥ ලක්නාත් සෙනෙවිරත්න, නදුනි මාදරා සහ යශෝධා ප්‍රනාන්දු යන පිරිස Invictus Law ආයතනයේ උපදෙස් මත පෙනීසිටියහ.
මූලාශ්‍ර - ceylonwire
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
