Image

ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා පැය 24ක් රඳවාගෙ ප්‍රශ්න කිරීමට නියෝග

ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා පැය 24ක් රඳවාගෙ ප්‍රශ්න කිරීමට නියෝග

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් වැඩිදුර විමර්ශන කටයුතුවලට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පවරා ඇති බවයි. එම අවස්ථාවේ දි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2007 අංක 7 දරන පනත අනුව සැකකරු පැය 24ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස යි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන බවත් ඔහු විසින් ක්‍රිප්ටෝ කරන්සි යටතේ ද මුදල් වංචා කර ඇති බවයි. ඒ අනුව සිද්ධියට අදාළ නඩුව හෙට පස්වරු 2.30ට නැවත කැඳවීමට නියමිත ය.

කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලිසිය දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව මේ වන විට බන්ධනාගාරයේ සිටින චීන ජාතිකයා සහ පැමිණිලිකරු අතර සමීප සම්බන්ධතාවක් තිබූ බවත් එම පැමිණිලිකරු විසින් මෙම සැකකරුට එම මුදල් ඩොලර්වලට හරවාගන්නා ලෙස දන්නවා ඇති බවයි.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක පවසා සිටියේ තම සේවා දායකයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දැනීමක් නොමැති බවයි.

මේවා ඔක්කොම සාවද්‍ය ප්‍රකාශ

ඔහු වැඩිදුරටත් අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.

"ස්වාමීනී මගේ සේවා දායකයා මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු බව නිලධාරින් කිව්වා. ප්‍රධාන සැකකරු නම් ඔහු විසින් කරන ලද වැරදි සම්බන්ධයෙන් සාක්ෂි සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. කොහොමද මගේ සේවා දායකයා මෙම සිද්ධියට සම්බන්ධ වන්නේ කියලා. මගේ සේවා දායකයා මේ කියන පැමිණිලිකරු දන්නෙත්නැහැ. ඔහු දන්නේ ප්‍රමිල් කියලා කෙනෙක් විතරයි. ඒ තැනැත්තා මගේ සේවා දායක ගේ මිත්‍රයෙක්. දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින චීන ජාතිකයා එක්ව තමයි ප්‍රමිල් කියන කෙනා සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ. චීන ජාතිකයින් සම්බන්ධයෙන් මගේ සේවා දායකයා කිසිම දැනුවත් භාවයක් නැහැ. ඉතින් කොහොමද ප්‍රධාන සැකකරු කියලා කියන්නේ. ස්වාමීනී, සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස අජිත් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. මගේ සේවාදායකයා ගේ මිතුරා කියලා තියෙනවා චීන ජාතිකයින්ට ආරක්ෂිතව ඉන්න හොඳ තැනක් හොයලා දෙන්න කියලා.

කොල්ලූපිටිය පොලිසිය කියනවා මෙම වංචාව වුණ තැන මගේ සේවාදායකයා සිටියා කියලා. නමුත් ඔහු ඒ ස්ථානයේ ඉඳලා නෑ. මේවා ඔක්කොම සාවද්‍ය ප්‍රකාශ, තව ද ස්වාමීනී මගේ සේවා දායකයට තිබෙන වරදවල් මොනවද යන්න නිසි පරිදි ඉදිරිපත් කරලා නැහැ. මොහු මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට ලියාපදිංචි වෙලා තියෙන ශිෂ්‍යයෙක්. නීතියෙන් පැනලා ගියේ නැහැ. මේ සම්බන්ධයෙන් මොනා ද උනේ කියලා බලන්න තමයි පොලිසියට ගියේ ප්‍රකාශයක් දෙන්න. ක්‍රිප්ටෝ කරන්සි ගැනත් කියනවා. ඒ කිසිදු දෙයක් සම්බන්ධයෙන් මගේ සේවා දායකයා දන්නේ නැහැ. ඒ නිසා සුදුසු ඇපයක් මත මුදා හරින්න,'' යනුවෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූයේ ය.

මිටර් 50ක දුර සිට සියල්ල මෙහෙයවලා

එම අවස්ථාවේ දී කොල්ලූපිටිය පොලිසිය සඳහන් කර සිටියේ මෙම වංචාව සිදුවන ස්ථානයේ මීටර් 50කට වගේ දුරින් ඉඳ සියලු කටයුතු එම සැකකරු විසින් මෙහෙයවා ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ ය.

නඩුව හෙට (23) යළි කැඳවිමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න