ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේය.
එදිනට ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝගය ලබා දෙන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව ය. අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තම කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි. වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සැකකරු විසින් ඉදිරිපත් කරන ලද නාම ලේඛනයකට අනුව විශේෂ ව්‍යාපෘති අංශයේ සේවකයන් හට රැකියා ලබාදී ඇති බවයි.
මේ වන විට සිද්ධියට අදාළව ප්‍රකාශ 25ක් ලබා ගෙන තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය. තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වවුචර් පත් ලබා ගැනීමට තිබෙන බවත්, සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. සැකකරු වෙනුවෙන් අධිකරණයේ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, නීතිඥ උදය ගම්මන්පිල සහ නීතීඥ දයාසිරි ජයසේකර පෙනී සිටියහ.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස පවසා සිටියේ තම සේවාදායකයා මාසයයි දවස් හතරක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
රජයේ මුදල් කෝටි 22ක් අවභාවිත කළේ කොහොම ද...?
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙලෙස සඳහන් කළේ ය.
"ස්වාමීනි මගේ සේවා දායකයාට තියෙන චෝදනාව තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පෞද්ගලික ලේකම් වශයෙන් සිට වැටුපක් ලබා ගැනීම සහ ඉන්පසු විශේෂ ව්‍යාපෘති අංශයේ ජනරාල්වරයා වශයෙන් සේවය කර වැටුපක් ලබා ගැනීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් පෙර නඩු දිනයේ දී කරුණු වාර්තා කරලා තියෙනවා. එහි දී විමර්ශන නිලධාරීන් සඳහන් කරා කිසිදු විශේෂ ව්‍යාපෘතියක් මගේ සේවා දායකයා ඉද්දී එම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් කාර්යය සාධන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම ඉදිරිපත් කරලා තියෙද්දී කොහොමද ස්වාමීනී විශේෂ ව්‍යාපෘති කරේ නෑ කියන්නේ.
තව ද ස්වාමීනි විමර්ශන නිලධාරීන් කියනවා කෝටි 22ක් රජයේ මුදල් මගේ සේවා දායකයා අව භාවිතා කරා කියලා. මොනවට ද අව භාවිතා කරේ කොහොම ද අවභාවිතා කරේ ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මේ වෙන තෙක් පැමිණිලිකාර පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ප්‍රකාරව පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා."
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සැකකරුට රාජකාරියේ දී ලබා දුන් වැඩ සම්බන්ධයෙන් වාර්තාවක් තිබේ ද යන්නයි.
එහිදී ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ එලෙස ඩියුටි ලිස්ට් එකක් නොමැති බවත් ජනාධිපති ලේකම් විසින් අත්සන් කරන ලද ලිපියක් ඇති බවයි.
ගෙවූ වැටුප් සම්බන්ධයෙන් සැකකරුට වගකීමක් නැහැ
වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ගෙවන ලද වැටුප් සම්බන්ධයෙන් මගේ සේවා දායකයාට වගකීමක් නොමැති බවයි.
"ස්වාමීනි ගෙවපු වැටුප් ගැන මේ පුද්ගලයාට වගකීමක් නැහැ. මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙනම නිලධාරියෙක් ඉන්නවා. ගිණුම් සම්බන්ධ නිලධාරියෙක් ඉන්නවා. ස්වාමීනි මෙම නඩුව වෙන නඩු වගේ නෙවෙයි. අත්අඩංගුවට අරගෙන තමයි විමර්ශනය කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධාන ගිණුම් නිලධාරියෙක් ඉන්නවා. එයා තමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. කෝටි 22 කට මගේ සේවා දායකයා කොහොමද අදාල වෙන්නේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් දක්වන්න ඕනි. එසේම ස්වාමීනි සැකකරුගේ දියණිය දැනට රෝහල් ගත කරලා තියෙනවා මානසික රෝගී තත්ත්වයක් නිසා. කලින් පැවති රෝගී තත්ත්වය දැන් වැඩිවෙලා තිබෙනවා. 2026/7/3 වන දින රෝගී තත්ත්වය වැඩි වෙලා මේ වෙනකොට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ කරුණු සියල්ල සලකා බලා සැකකරුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා,'' යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝග ලබා දෙන තෙක් සැකකරු ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
මෙම විමර්ශනය සිදු කරන්නේ සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම්වරයකු වශයෙන් සිටිමින් සහ එම කාල වකවානුව තුළ ම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පෙර නඩු දිනයේ දි අධිකරණයට දැන්වූ බවයි. එම ප්‍රකාශ අනුව මෙම සැකකරුට නොව වෙනත් පුද්ගලයෙකුට මුදල් ලබා දුන් බවට ප්‍රකාශයේ සඳහන් බව විමර්ශන නිලධාරින් පෙර නඩු දිනයේ දී අධිකරණයට දැන්වූයේ ය.
නඩුව ලබන 30වන දා යළි කැඳවිමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
