පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් නියමිත උපරිම ගාස්තු පනවා ඇත.
ඒ අනුව, Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400කි.
කෙසේ වෙතත්, යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි Venus Speciality Hospital (Pvt) Ltd ආයතනය විසින් එම පරීක්ෂාව සඳහා රුපියල් 550/- බැගින් අය කර ඇති බව 2026.07.13 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමක දී අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
2026.07.21 දින නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර ආයතනය අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් එම ආයතනයට රුපියල් ලක්ෂ 30ක, එනම් රුපියල් මිලියන 03ක දඩයක් නියම කරන ලදී. තව ද, සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේ ම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
පාරිභෝගිකයිනි, අවධානයෙන් සිටින්න.
පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේ දී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන්න. ඔබ ගෙවන සෑම මුදලක් සඳහා ම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා ලබාගන්න. එය ඔබේ පාරිභෝගික අයිතියක් වන අතර, අවශ්‍ය අවස්ථාවක වැදගත් සාක්ෂියක් ලෙස ද භාවිත කළ හැකි ය.
නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන අවස්ථා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කරන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
