ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති අතර මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත්, ආචාර්ය සුජාතා අත්තනායක බඳු කලාකරුවන් ගේ නිර්මාණ ඒ සත්‍යය වටහා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ආචාර්ය සුජාතා අත්තනායක වෙනුවෙන් පැවැති උපහාර ප්‍රණාම උළෙලේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද "ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රණාම" විශේෂ උපහාර වැඩසටහන ජූලි 28 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ සහභාගීත්වයෙන් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.
දශක හතකට වැඩි කාලයක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ දී එතුමිය ගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදු කළේ ය.
ජූලි මාසය සහෝදරත්වයේ මාසයක් බවට පත් කළ යුතුයි
මෙහි දී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, වයස අවුරුදු අටක දැරියක ලෙසින් ඇරඹුණු ආචාර්ය සුජාතා අත්තනායක ගේ සංගීත චාරිකාව පරම්පරා ගණනාවක ආදරය දිනාගත් අද්විතීය කලා ගමනක් වූ බවයි.
ජාතියක සංස්කෘතික මතකය ගොඩනැගෙන්නේ ඉතිහාස පොත්වලින් පමණක් නොව, මිනිසුන් ගේ හදවත් තුළ ජීවත්වන නිර්මාණ, ස්වර සහ මතකයන් තුළින් බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එවැනි නිර්මාණකරුවන් ජාතියක අනන්‍යතාව ගොඩනගන පුරෝගාමීන් බව පෙන්වා දුන්නා ය. ඒ සඳහා ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය හොඳම නිදසුනක් බව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.
දශක හතකට අධික කාලයක් පුරා එතුමියගේ හඬ ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත සමඟ බද්ධ වී ඇති අතර, සතුට, දුක, ආදරය, භක්තිය ඇතුළු ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල දී එම ගීත පසුබිම් වූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, "ආචාර්ය සුජාතා අත්තනායක ගායනා කළේ ගීත පමණක් නොව හැඟීම් බව ද සඳහන් කළා ය.
ගායනය යනු කෙතරම් ආත්මීය කලා මාධ්‍යයක් ද යන්න ආචාර්ය සුජාතා අත්තනායක සිය ජීවිතයෙන් සනාථ කොට ඇති බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, එතුමිය ගේ හඬ කිසිවිටෙක එක් ජාතියකට, එක් භාෂාවකට හෝ එක් සංස්කෘතියකට සීමා නොවූ බව ද අවධාරණය කළා ය. සිංහල, දෙමළ සහ ඉස්ලාම් සංස්කෘතික ගීත ගායනා කිරීමෙන් මෙන්ම විවිධ ප්‍රජාව සමඟ කලාත්මක බැඳීම් ගොඩනැඟීමෙන් එතුමිය සහජීවනය හා සහකම්පනය ශක්තිමත් කළ කලාකාරිනියක වූ බව ද අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.
එමෙන්ම ජූලි මාසය යනු මෙරට අතීත අඳුරු මතකයන් රැසක් සමග බැඳී ඇති මාසයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, එම වේදනාබර මතක අනාගත පරපුරට වෛරයක් ලෙස නොව, සංහිඳියාව සහ සහෝදරත්වය ගොඩනන මතකයක් ලෙස උරුම කළ යුතු බවත්, "කළු ජූලිය" යන හැඳින්වීමෙන් ඔබ්බට ගොස් ජූලි මාසය සියලු ලාංකිකයන් එකිනෙකාට සමීප කරන "සහෝදරත්වයේ මාසයක්" බවට පත් කළ යුතු බවත් අවධාරණය කළා ය.
වැඩිදුරටත් අදහස් පළකළ අග්‍රාමාත්‍යතුමිය,
සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ බිහිවන්නේ බෙදී වෙන්වී ගිය විට නොවෙයි
"අපේ කලාව සහ සංස්කෘතිය කිසිදා තනි ජාතියක හෝ තනි ජන කොට්ඨාසයක නිර්මාණයක් නොවෙයි. මේ රටේ විවිධ ජනවර්ග, භාෂා සහ සංස්කෘතික සම්ප්‍රදායන් එකිනෙකා සමග මුසු වූ තැනින් තමයි අපේ ජාතික අනන්‍යතාව ගොඩනැගුණේ. අපේ ගීතය හදවත්වලට සමීප වුණේත්, අපේ සිනමාව ලෝකය හඳුනාගත් කලා මාධ්‍යයක් බවට පත්වුණේත්, නර්තනය ඇතුළු සියලු කලා අංග අසමසම සුන්දරත්වයකින් බැබළුණේත් ඒ විවිධත්වය නිසයි. සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ බිහිවන්නේ බෙදී වෙන්වී ගිය විට නොවෙයි, එකිනෙකාගේ අත්වැල් අල්ලාගෙන, වෙනස්කම්වලට ගරු කරමින් ඉදිරියට යන විටයි. ඒ නිසා අපේ රටේ හෙට දවස ගොඩනැඟිය හැක්කේ සියලු දෙනා එක්ව, සහෝදරත්වයෙන්, සහයෝගයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව ඉදිරියට ගමන් කළොත් පමණයි. ඒ සත්‍යය ආචාර්ය සුජාතා අත්තනායක වැනි අතිදක්ෂ කලාකරුවන් සිය ජීවිතයෙන්, සිය කලාවෙන් සහ සිය මානවීය බැඳීමෙන් අපට හොඳින්ම පෙන්වා දී තිබෙන බව ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීණ සංගීතවේදී නවරත්න අත්තනායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
