2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ ඊයේ (28) කැඳවී ය.
මෙම නඩුව පවරා ඇත්තේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස මෝටර් රථයක් ධාවනය කරමින් සංදීප් සම්පත් නමැති පුද්ගලයාට තුවාල සිදු කිරීම, අනතුරෙන් පසු ඔහු රෝහලට ඇතුළත් නොකිරීම සහ එම අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම යන චෝදනා යටතේ ය.
කෙසේ වෙතත්, අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ වාහනය ධාවනය කළේ හිටපු අමාත්‍යවරයා ගේ රියදුරු බව තහවුරු කරමින් 2017 වසරේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු වරදකරු කොට දඬුවම් නියම කර තිබූ අතර, එම දඬුවම් ද මේ වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කර ඇත. එවැනි පසුබිමක, එම සිද්ධිය සම්බන්ධයෙන් ම නැවතත් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබීම විශේෂත්වයකි.
නීත්‍යනුකූල අධිචෝදනා පත්‍රයක් අත්‍යවශ්‍ය
ඊයේ (28) නඩුව කැඳවූයේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් අධිචෝදනා පත්‍රයේ නෛතික දෝෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව විභාග කිරීම සඳහා ය. එහි දී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, අධිචෝදනා පත්‍රයේ අඩංගු චෝදනා නීතියට පටහැනි අයුරින් එකිනෙක බද්ධ කර ඇති බැවින් එම අධිචෝදනා පත්‍රය මත නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑම නීත්‍යනුකූල නොවන බවයි.
නඩු විභාගයක අරටුව අධිචෝදනා පත්‍රය වන බැවින්, එය නීතියට අනුකූලව සහ නීතිය උල්ලංඝනය නොවන ආකාරයෙන් සකස් කර තිබීම අත්‍යවශ්‍ය බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ ය. අතීතයේ විනිශ්චිත අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රැසක් උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, නීතියට පටහැනි ලෙස සකස් කළ අධිචෝදනා පත්‍ර මත නඩු විභාග පවත්වා විත්තිකරුවන් වරදකරුවන් කර තිබූ සෑම අවස්ථාවක දී ම ඉහළ අධිකරණ විසින් එම අධිචෝදනා පත්‍ර නිශ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කර ඇති බවයි. එබැවින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා නීත්‍යනුකූල අධිචෝදනා පත්‍රයක් අත්‍යවශ්‍ය වන අතර, මෙම අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විත්තිකරු හෝ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු නොපැමිණියා ද...?
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ, මෙවැනි මූලික විරෝධතා මතු කිරීම මගින් විත්තිය නඩු විභාගය ප්‍රමාද කිරීමට උත්සාහ දරන බවයි.
එම ප්‍රකාශයට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ සඳහන් කළේ, විත්තිකරු හෝ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ගේ නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව කිසිදු දිනයක කල් ගොස් නොමැති බවයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, මෙම මූලික විරෝධතාව 2023 වසරේ දී ලිඛිතව ඉදිරිපත් කර තිබියදීත්, ඊට පිළිතුරු ලබාදීම සඳහා පැමිණිල්ල විසින් වසර තුනකට ආසන්න කාලයක් ගෙන ඇති බවයි. එවැනි තත්ත්වයක් යටතේ විත්තිය නඩුව ප්‍රමාද කරන බවට කරන චෝදනාව සම්පූර්ණයෙන් ම අසත්‍ය සහ සම්පූර්ණයෙන් ම පදනම් විරහිත බව ද ඔහු අවධාරණය කළේය.
තවද, විත්තිය විසින් ඉදිරිපත් කර ඇති නෛතික මූලික විරෝධතාවලට නිසි නෛතික පිළිතුරක් ලබාදීම වෙනුවට ඒවා යටපත් කිරීමේ උත්සාහයක් ලෙස මෙවැනි අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පැමිණිල්ල විසින් ගරු විනිසුරුතුමාගේ දෑස්වල කළු තාර ගා, විත්තිකරු පිළිබඳ කළු චිත්‍රයක් මවා, අධිකරණයේ අවධානය මෙම නෛතික මූලික විරෝධතාවෙන් වෙනතකට යොමු කිරීමට උත්සාහ දරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කිරීම සඳහා නඩුව 2026 අගෝස්තු 3වන දා දක්වා කල් තැබී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
