Image

"නිෂ්පාදන රහස්" සහ "වෙළෙඳ රහස්" වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස නියෝග

"නිෂ්පාදන රහස්" සහ "වෙළෙඳ රහස්" වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස නියෝග

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සමාගමක් සතු "නිෂ්පාදන රහස්" සහ "වෙළෙඳ රහස්" මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ, අත්වැසුම් නිෂ්පාදන පෞද්ගලික සමාගමක "නිෂ්පාදන රහස්" සහ "වෙළෙඳ රහස්" මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට රහසිගත ලෙස හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් එහි සේවකයෙකුට එම සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි; සැකකරු කාර්මික පාලක තනතුරෙහි සේවය කළ අයෙකි.

සමාගම පවසන්නේ රබර් කිරි උපයෝගී කර ගනිමින් "කාර්මික අත්වැසුම්" නිෂ්පාදනය කරන තම සමාගම එම ක්‍රියාවලියට අදාළ තාක්ෂණය සහ රහසිගත කරුණු සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන ඇති බව ය. වගඋත්තරකරු දක්ෂ සහ විශ්වාසවන්ත සේවකයකු ලෙස ක්‍රියාකිරීම නිසා එම තාක්ෂණික මෙන්ම වෙළෙඳ රහස් පිළිබඳ ඔහුට පුහුණුවක් ලබා දී තිබූ බවත් සමාගම සඳහන් කළේ ය.

දශකයකට වැඩි කලක් සේවය කළ වගඋත්තරකරු 2010 නොවැම්බර් මස සිව්වැනිදා හෝ ඊට ආසන්න දිනකදී දැනුම්දීමකින් පවා තොරව රැකියාවෙන් ඉවත් වූ බවත් එම වසරේම නොවැම්බර් 25 වැනිදා ඒ බව දැනුම් දෙමින් ලිපියක් එවා තිබූ බව සමාගම පෙන්වාදෙයි.

තම සමාගමේ සිටිය දී ඔහු කොරියානු අත්වැසුම් නිෂ්පාදන සමාගමක් සමග සහයෝගයෙන් ක්‍රියාකර ඇති බවත් සිය සමාගමේ නිෂ්පාදන සහ වෙළෙඳ රහස් මූල්‍යමය වාසි මත වගඋත්තරකරු එම සමාගමට හෙළිකර ඇති බවත් පැමිණිලිකාර සමාගම සිය පෙත්සමේ සඳහන් කර ඇත.

එහෙත් වගඋත්තරකරු වාණිජ මහාධිකරණයට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ පැමිණිලිකාර ආයතනයේ නිෂ්පාදන සහ වෙළෙඳ රහස් කිසිවක් තමා දැන නොසිටි බවත් සිය අධ්‍යාපන සුදුසුකම් සහ තනතුර අනුව එවැනි දියුණු තාක්‍ෂණයක් සහ ක්‍රියාවලි තේරුම්ගැනීමට හෝ අත්පත් කර ගැනීමට තමන්ට හැකියාවක් නොතිබූ බවයි. එමෙන්ම මෙම සමාගමේ කිසිදු රහසිගත තොරතුරක්, වෙළෙඳ හෝ නිෂ්පාදන තාක්ෂණික රහස් කිසිවක් තමා තෙවන පාර්ශ්වයකට ලබානොදුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර කර තිබුණි.

ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබුණේ අත් වැසුම් නිෂ්පාදන රහස් සහ වෙළෙඳ රහස් වගඋත්තරකරු වෙත ලබා දී තිබූ බවට ඔප්පු කිරීමට පැමිණිලිකාර සමාගම අපොහොසත් වී ඇති බවය.

විත්තිකරු ගේ අධ්‍යාපන පසුබිම සැලකිල්ලට ගැනීමේ දී එවැනි දියුණු තාක්ෂණය, දැනුම, වෙළෙඳ රහස් පිළිබඳ තොරතුරු අවබෝධ කර ගැනීමට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට වගඋත්තරකරුට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණි.

පසුව පැමිණිලිකාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණේ වාණිජ මාහාධිකරණ තීන්දුව පිළිබඳ අතෘප්තිමත් බව පවසමින්ය.

එය විභාග කිරීමෙන් පසු ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන, " වාණිජ මහාධිකරණ විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මනා ලෙස විශ්ලේෂණය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නැහැ. ඉදිරිපත් වූ සාක්ෂි මගින් තහවුරු වන්නේ වගඋත්තරකරු රැකියාව කරන අතරතුර අදාළ සමාගමේ නිෂ්පාදන සහ වෙළෙඳ රහස් මෙන්ම සංවේදී තොරතුරු මූල්‍යමය වාසියක් උදෙසා තෙවැනි පාර්ශ්වයක් වෙත හෙළිදරව් කර ඇති බවයි. ඒ අනුව පෙත්සම්කාර සමාගමට හිමි පේටන්ට් බලපත්‍රය ප්‍රකාරව එවැනි සංවේදී තොරතුරු වෙනත් සමාගමකට විකිණීම හෝ සුරා කෑම වළක්වමින් වගඋත්තරකරු වෙත තහනමක් නිකුත් කිරීමට තීරණය කරමි." යනුවෙන් නියෝග කර සිටියේය.

අභියාචක සමාගමට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 50 ක් ලෙස තක්සේරු කරන බවත් ඒ අනුව වගඋත්තරකරු රුපියල් මිලියන 50ක මුදලක් සහ නඩු ගාස්තු අභියාචක සමාගමට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය. ඊට අමතරව 29වන දා කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ඉවත දමන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න