සුඛෝපභෝගී මෝටර් රථ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය ආනයනය කරමින් රුපියල් කෝටි ගණනින් බදු වංචා කළේ යැයි කියන ප්‍රසිද්ධ ගේට්ටු නිෂ්පාදන හා මොටර් රථ ආනයනය සමාගමක් වන ඇල්කාඩෝ industries පුද්ගලික සමාගම හිමිකරුගේ පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි නියෝග ඊයේ (03) කළේය.
අදාළ සමාගමේ සේවිකාවක බව කියන අචිනි තාරකා මිහිරානි ඩයස් සහ කොළඹ 07 පදිංචි අතිල රවිනක වීරරත්න මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුවන් පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ අඩු වටිනාකමක් යොදා භාණ්ඩ ආනයනය කර රජයට වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවය. මර්සිඩීස් බෙන්ස් රථයක් අඩු වටිනාකමක් යොදා මෙරටට ආනයනය කිරීමෙන් රුපියල් 4145581.00 එක බදු රජයට අහිමි කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇති බවද පැවසීය. ඊට අමතරව සමාගමේ ඉන් වොයිස් පරීක්ෂා කිරීම තුළින් ඇමරිකන් ඩොලර් 49815.75 ඉන්වොයිසිය මගින් භාණ්ඩ ආනයනය කිරීම, ඇමරිකන් ඩොලර් 19926.30 ණයවර ලිපි නිකුත් කිරීම, ඇමරිකන් ඩොලර් 29889.45 භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බව ද පැවසී ය.
අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ විමර්ශන නිලධාරින් නිසි සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර නොමැති බව ය. රේගු ආඥා පනතේ 127 ඒ වගන්තිය ප්‍රකාරව සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම මහේස්ත්‍රාත්වරයා සතු බලතලයක් බවත්, විමර්ශන නිලධාරීන් පවසන පරිදි එසේ කිරීම අවශ්‍ය නොවන බවත් පෙන්වා දුන්නේ ය. පූර්ව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව නිසි සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් විය යුතු බව ද මෙම විමර්ශනය අනුව එසේ නිසි සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් තවමත් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව ද පැවසී ය.
අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ය. එබැවින් මෙම සැකකරුවන් නිදහස් කළොත් සාක්ෂි විනාශ විය හැකි බැවින් ඇපදීමට තරයේ විරුද්ධ වන බව ද පෙන්වා දුන්නේ ය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
