ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය 2026 අගෝස්තු මස 03වන දා මස්කට්හි දී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, සම්බන්ධතාව, නවෝත්පාදන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මාර්ග හඳුනා ගැනීමට මෙම ද්විපාර්ශ්වික උපදේශන වැදගත් වේදිකාවක් සැපයී ය.
ශ්‍රී ලංකා දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ විසින් මෙහෙයවන ලද අතර, ඕමාන දූත පිරිස, ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උප ලේකම් ෂෙයික් කලීෆා බින් අලී බින් ඉසා අල් හාර්ති විසින් මෙහෙයවන ලදී.
ඩිජිටල් ආර්ථිකය අනාගත සංවර්ධනයේ ප්‍රධාන ධාවකයක් ලෙස...
ශ්‍රී ලංකා-ඕමාන සබඳතාවල ශක්තිමත් පදනම සහ සැලකිය යුතු ආර්ථික හැකියා සහිත නැගී එන අංශ සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලින් ඔබ්බට සහයෝගීතාව ව්‍යාප්ත කිරීමේ හවුල් අධිෂ්ඨානය මෙම උපදේශන මගින් නැවත තහවුරු කෙරිණි. ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීම මෙන්ම, ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්ව ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන විශේෂ වෙළෙඳ විධිවිධානයක් පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑම කෙරෙහි දෙපාර්ශ්වය ම අවධානය යොමු කළහ.
ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ඕමානය විසින් අත් කරගත් සැලකිය යුතු ජයග්‍රහණ, විශේෂයෙන් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නවෝත්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මහජන සේවා ඩිජිටල්කරණය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කර ගැනීමේ අත්දැකීම් ශ්‍රී ලංකාව විසින් අගය කරන ලදී. අනාගත සංවර්ධනයේ ප්‍රධාන ධාවකයක් ලෙස ඩිජිටල් ආර්ථිකය හඳුනා ගනිමින්, ඩිජිටල් පාලනය කෘත්‍රිම බුද්ධි යෙදුම් සහ තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය තුළ සහයෝගීතාව ගවේෂණය කරන අතර ම විශේෂඥතාව, නිසි භාවිත සහ නව්‍ය විසඳුම් හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.
ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක්
සෘජු සමුද්‍රීය සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා හරහා සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම, කලාපීය සමුද්‍රීය, සැපයුම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඕමානයේ උපායමාර්ගික පිහිටීම සහ වැඩිදියුණු කළ වෙළෙඳ හා ආර්ථික කටයුතු සඳහා ද්වාරයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව හඳුනා ගැනීම යන කරුණු ද දෙපාර්ශ්වය ම අවධාරණය කළහ.
ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) ආරම්භක සාමාජිකයින් ලෙස, දෙරටේ හවුල් භූමිකාව මත පදනම්ව, සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ආරක්ෂිත, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක් සඳහා දායක වීම සඳහා ඔවුන්ගේ කැපවීම දෙපාර්ශ්වය නැවත තහවුරු කළහ.
කෘෂිකර්මය, ධීවර කටයුතු, සංචාරක ව්‍යාපාරය, උසස් අධ්‍යාපනය, තාක්ෂණික හා වෘත්තීය පුහුණුව සහ ආයෝජන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව මෙම උපදේශන සාකච්ඡාවල දී තවදුරටත් ගවේෂණය කළ, ‘Oman Vision 2040’ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තන ප්‍රමුඛතා සමඟ අනුගත වන අවස්ථා ද ඊට ඇතුළත් විය. ව්‍යාපාර අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ, පුද්ගලික අංශයේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ සහ ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය ම පෙන්වා දුන්හ.
පුහුණු ශ්‍රී ලාංකික වෘත්තිකයින් සඳහා රැකියා අවස්ථා
ඕමානයේ වෙසෙන සහ එහි සේවය කරන 28,000 ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ අගනා දායකත්වය හඳුනා ගනිමින් ලේකම් රණරාජ ශ්‍රී ලංකා ප්‍රජාව සඳහා ඕමානය දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අතර ඕමානයේ ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ වැදගත් දායකත්වය ඉස්මතු කළේ ය. ශ්‍රී ලංකා ශ්‍රම බළකායේ වෘත්තීයභාවය, කුසලතා සහ ධනාත්මක දායකත්වය ඕමාන නියෝජ්‍ය ලේකම්වරයා අගය කළේ ය.
මෙම උපදේශන සාකච්ඡා දෙපාර්ශ්වයම ඉහළ මට්ටමේ නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීමට සහ ද්විපාර්ශ්වික උපදේශනවල පස්වන වටය කොළඹ දී පැවැත්වීමට එකඟ වීමෙන් අවසන් විය. මෙම උපදේශන සාකච්ඡාවලට සමගාමීව, ලේකම් අරුණි රණරාජ, ඕමාන කම්කරු අමාත්‍යාංශයේ උප ලේකම් ඉංජිනේරු කාලිඩ් අල්-ඝම්මාරි සමග ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා ය. මෙහි දී, පුහුණු ශ්‍රී ලාංකික වෘත්තිකයින් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ද්විපාර්ශ්වික ශ්‍රම ගිවිසුමට අදාළ කටයුතු කඩිනම් කිරීම සහ අදාළ නීතිමය ක්‍රියාපටිපාටි හෝ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ විධිවිධාන සම්පූර්ණ වන තෙක්, සංක්‍රමණ හෝ වීසා සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික සේවකයින් සඳහා සුදුසු අතුරු සහාය යාන්ත්‍රණ ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවකයින්ගේ සුබසාධනය ආරක්ෂා කරමින්, ආරක්ෂිත, විධිමත් සහ දෙපාර්ශ්වයට ම ප්‍රතිලාභදායක ශ්‍රම සංචලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වයම සිය පොදු කැපවීම යළි තහවුරු කළහ.
නවෝත්පාදනය මත පදනම් වූ සහයෝගීතාව
ලේකම් අරුණි රණරාජ: ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළෙඳාම, දැනුම් ආර්ථිකය සහ තාක්ෂණ අංශයේ ප්‍රධානී තානාපති ටුෆූල් අල් ධහාබ් ද හමුවී සාකච්ඡා පැවැත්වූවා ය. මෙම සාකච්ඡාවලදී, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික තාක්ෂණික නවෝත්පාදන ආරම්භක ව්‍යාපාර සහ ඕමාන සමාගම් අතර හවුල්කාරිත්ව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු කළේ ය. නවෝත්පාදනය මත පදනම් වූ සහයෝගීතාව ඉදිරියට ගෙන යෑම සහ දැනුම් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය ම දක්වන පොදු උනන්දුව මෙම සාකච්ඡාවලින් පිළිබිඹු විය.
සංචාරය අතරතුර, ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව, ලේකම් අරුණි රණරාජ විසින් “ශ්‍රී ලංකා–ඕමාන සබඳතා: අනාගතය සඳහා වූ හවුල්කාරිත්වයක්” යන මැයෙන් ඕමාන රාජ්‍යතාන්ත්‍රික ඇකඩමියේදී විශේෂ දේශනයක් පවත්වන ලදී. මෙම දේශනයට ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුලාභීන් සහභාගී වූ අතර, ඉන් අනතුරුව අදහස් හුවමාරු කර ගැනීමේ සජීවී සාකච්ඡාවක් පැවැත්විණි. තවද, ලේකම් රණරාජා, ඕමාන රාජ්‍යතාන්ත්‍රික ඇකඩමියේ ප්‍රධානී තානාපති ෂෙයික් හුමයිඩ් අල් මානි සමග රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ ශක්‍යතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කළාය.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කපිල ද අල්විස්, මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.ඩී.එස්.පී. විජේගුණසේකර, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සලරි ප්‍රධානී මැක්ස්වෙල් කීගල් සහ කම්කරු හා සුබසාධන කටයුතු පිළිබඳ උපදේශක හේමන්ත විජේරත්න මෙම හමුවීම් සඳහා ලේකම් රණරාජා සමඟ එක්ව සිටියහ.
මෙම වසරේ ශ්‍රී ලංකාව හා ඕමාන සුල්තාන් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 45ක් සපිරීමේ පසුබිම තුළ සිදු වූ මෙම සංචාරය, දිගුකාලීන මිත්‍රත්වය වඩාත් පුළුල්, ක්‍රියාකාරී සහ අනාගතය අරමුණු කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීම සඳහා දෙරට දක්වන පොදු කැපවීම යළි තහවුරු කළේ ය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
