සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සේවකයින් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා ඔවුන් ගේ වැටුප් සහ අතිකාල දීමනා සංස්ථා මුදලින් ගෙවීම හරහා රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු ඉදිරියට පවත්වාගෙන යෑමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (4) නියෝග කළේ ය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරුවරුන් වන පී. කුමාරරත්නම්, ඩී. තොටවත්ත, කේ. එම්. එස්. දිසානායක, කේ. පී. ඊ. ප්‍රනාන්දු සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසිනි.
CWE සේවකයන් නිල රාජකාරිවලට අදාළ නොවන කටයුතු සඳහා යොදවලා
නඩුවේ පළමු විත්තිකරු ලෙස එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර ඇති අතර, දෙවැනි විත්තිකරු ලෙස CWE හි හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ තෙවැනි විත්තිකරු ලෙස වැඩබලන අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ෂාකීර් නම් කර ඇත. ඔවුන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු පවරා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, 2010 සිට 2014 දක්වා කාලය තුළ CWE සේවකයන් නිල රාජකාරිවලට අදාළ නොවන කටයුතු සඳහා යොදවා ඔවුන් ගේ වැටුප් සහ අතිකාල දීමනා සංස්ථා මුදලින් ගෙවා රජයට අලාභයක් සිදු කර ඇති බවයි. ඒ අනුව 2022 වර්ෂයේදී කොළඹ මහාධිකරණය හමුවේ අදාළ අධිචෝදනා ගොනු කර තිබුණි.
සියලු ප්‍රතිශෝධන අයදුම්පත් ප්‍රතික්ෂේපයි
විත්තිකරුවන් මූලික විරෝධතා මතු කරමින්, කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතියකින් තොරව විමර්ශනය ආරම්භ කළ බවත්, 2018 අංක 22 දරණ අල්ලස් (සංශෝධන) පනත අතීතයට බලපාන ලෙස යොදා ගැනීම නීතිවිරෝධී බවත් ඇතුළු කරුණු ඉදිරිපත් කර තිබුණි.
එහෙත් අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතට අවසර ලබා දී, එක් නඩුවක දී විත්තිකරුවන් නිදහස් කළ මහාධිකරණ නියෝගය අවලංගු කළ අතර, විත්තිකරුවන් ගොනු කළ සියලු ප්‍රතිශෝධන අයදුම්පත් ප්‍රතික්ෂේප කරමින් අදාළ මහාධිකරණ නඩු ඉදිරියට පවත්වාගෙන යෑමට නියෝග කළේය.
මෙම තීන්දුව අල්ලස් හා දූෂණ වැරදි සම්බන්ධ විමර්ශන ආරම්භ කිරීමේ දී කොමිෂන් සභාව සතු නීතිමය බලතල සහ 2018 අංක 22 දරණ අල්ලස් (සංශෝධන) පනත යටතේ මහාධිකරණයේ නඩු පැවරීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳ වැදගත් නීතිමය මාර්ගෝපදේශයක් ලෙස සැලකෙන අතර, අල්ලස් හා දූෂණයට එරෙහි නීතිය බලාත්මක කිරීමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී පූර්වාදර්ශයක් බව ද තීන්දුවෙන් අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
