Image

බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරී තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා - අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරී තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා - අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

කූඨ අරමුණු ඇති පුද්ගලයින් රැඳවියන් මෙහෙයවා කලබල ඇති කිරීමට උත්සාහ කරන බවත්, සුළු දෙනකු ගේ අවශ්‍යතාවට හසු නොවන ලෙස රැඳවියන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාර කිහිපයක ඇතිවු සිද්ධි සම්බන්ධයෙන් අද (07) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා...

යම් මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා

''බන්ධනාගාරවල සිටින රැඳවියන් ගේ ඥාතීන්ට ආදරණීයන්ට සහ මිත්‍රයන්ට යම් පණිවිඩයක් ලබාදීමේ අවශ්‍යතාවය තිබෙනවා. මුලිකවම දැනට වසරක් තිස්සේ බන්ධනාගාරවල තිබෙන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී රැඳවියන් ගේ මුලික චෝදනාවක් වුයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම නිසා ඇප ලබා ගැනීමට නොහැකිව ඇති බවයි. මෙම තත්ත්වය අපි පසුගිය වසරේ හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 118 ක් තිබුණා. ඒ නිසා කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා පැමිණියේ නැහැ. සමහර සැකකරුවන්ට රස පරීක්ෂක වාර්තා පැමිණෙන තෙක් වසරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරන්න සිදු වුණා. මේ වන විට රස පරීක්ෂක වාර්තා ලබා දීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය හැත්තෑවක් පමණ බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මේ මාසය වන විට නව යන්ත්‍ර ගෙන එනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මසකට වාර්තා හත් දහස් පන්සීයත් නවදහසක් අතර ප්‍රමාණයක් නිකුත් කරන්න ඉදිරියේ දී පියවර ගන්නවා. මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් දහයකට වැඩි නිසා අභියාචනාධිකරණයට ඇප ලබා ගැනීමට යොමුවීමෙන් ඇප ලබා ගැනීමට ප්‍රමාද වන බව රැඳවියන් ගේ ඥාතීන් සඳහන් කළා. මේ නීතිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා.

බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා

මේ මොහොත වන විට යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් බන්ධනාගාරවල සිටින අය මෙහෙයවලා කලබල ඇතිකිරීම් තත්වයන් ඇති කරනවා. ඔබගේ ගැටලු විසඳනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා බන්ධනාගාරවල අධික තදබදයක් තිබෙනවා. අපි ඒ පහසුකම් ලබාදීමට මෙන්ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. කිහිප දෙනකුගේ කූඨ අරමුණු අනුව අපි සම්පත් ලබා දුන්නත් ඒවා ගිනි තියනවා නම් බාධා එන්නේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් වන ඔබටයි. රජය විසින් දැන් රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගෙන ඇති බැවින් රජයට සහාය වෙන්න. බන්ධනාගාර තුළ කළහකාරී ලෙසින් හැසිරි තමන්ගේ සම්පත් විනාශ කර ගන්න එපා. සුළු දෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබව මෙහෙයවන එක නවත්වන්න. ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබාදී නීති සංශෝධනය කරදී ඇප ලබා ගැනීමේ හැකියාව ලබා දෙනවා.''

මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න