විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ දී අවධානය යොමු කළේ ය.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් කළේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් කළේ ය.
ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක්
සමස්ත සමාජ දේහයම බිඳ දමමින්, රටේ අනාගත පරපුර ගොදුරු කර ගනිමින් සිටින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බවද සඳහන් කළේ ය.
මෙම ජාතික ව්‍යසනයේ ගැඹුර අවබෝධ කර ගනිමින් ආයතනික පද්ධතිය තුළ සිදු කළ යුතු පරිවර්තනය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළේ ය. මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අදියරේ පවතින අතර, එය කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කළේ ය.
වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය
මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබෙන බවත්, පසුගිය ජූලි මාසයේ දී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙන බවත් සඳහන් කළේ ය. රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින පිරිස්වලට අදාළ නීතිමය කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමේ සහ එහි පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීම සිදු කෙරෙන බව සඳහන් කෙරිණි. ආරක්ෂිත කැමරා පද්ධතිය සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
රැඳවියන් වෙනුවෙන් මනෝ වෛද්‍යවරුන් ගේ සේවය
බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කළ අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණය විය. බන්ධනාගාර රැඳවියන් කලහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන් ගේ සේවය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේ ය. එසේම 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාද මගහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන 'මිතුරු පාසල' වැඩසටහනේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කළ අතර එහි දී සිසුන් ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට මඟපෙන්වීම පිළිබඳව ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කිරීම සිදු කෙරන බවත් සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය අවදානම වැඩි සහ ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවල පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය.
දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීම වැදගත්
ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතර විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ද මෙහි දී අනාවරණය විය. ඒ පිළිබඳව ජාතික සභාවේ විශේෂ අවධානය යොමු විය. දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කිරීමට හැකි වන ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීමේ වැදගත්කමත් මෙහි දී සාකච්ඡාවට බඳුන් කළේ ය. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කළ අතර මත්ද්‍රව්‍යවලට එරෙහි මතවාදය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ද සාකච්ඡා කළේ ය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ “ප්‍රජාශක්ති” වැඩසටහන එක්ව මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම්, නැවත ඇබ්බැහිවීම සහ පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය සහ සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කළේ ය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලාද, ජූඩ් බර්නාඩ් පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන යන අය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන්ද, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
