2026 වසරේ මේ දක්වා වැටලීම් 119කින් අටපිරිකර විවෘත කර සිදු කළ පරීක්ෂාවලදීත් අක්‍රමිකතා අනාවරණය වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේ දී නීතිමය කරුණු අනුගමන කරන්නේ දැයි පරීක්ෂණ කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 10 දින දිවයින පුරා අටපිරිකර සහ ඒ ආශ්‍රිත පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටලීම් 92ක් සිදු කර ඇති අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මීට අමතරව අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 35ක් සිදු කර තිබෙන බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව, 2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කර ඇත.
ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර නැහැ
2026 අගෝස්තු 10 දින ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහනේ දී 2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 55 දරන විධානය යටතේ අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවා ද යන්න පරීක්ෂාවට ලක් කළ බවත් එහි දී වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේ.
මෙම විශේෂ වැටලීම්වලදී වාර්තා වූ බහුතර උල්ලංඝන අංක 55 දරන විධානයට අදාළ වන අතර, අටපිරිකර, තනිපට සිවුරු, අඳනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන් අනාවරණය වී ඇත.
වැටලීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ විශාල ප්‍රමාණයක් (ඒකක 436ක්) නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර ඇත.
දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක්
මෙම විශේෂ වැඩසටහනේදී අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා කිරීම වෙනුවට, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර ඒවා තුළ ඇතුළත් කර ඇති භාණ්ඩ ද පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇත. එලෙස සිදුකළ පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා අනාවරණය වී ඇත.
මෙවැනි අක්‍රමිකතා පාරිභෝගිකයාට පිටත ඇසුරුම නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින්, විශේෂයෙන් ආගමික අවශ්‍යතාවක් සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේ දී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන් දැනුම්ත් කරන බව ඔවුන් පවසයි.
මෙම වැටලීම්වලදී අනාවරණය කරගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාල මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් පවතී.
අහඹු වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් ඉදිරියටත්
අටපිරිකර හා පිරිකර අලෙවියේ දී භාණ්ඩවල සහ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කිරීම, පාරිභෝගිකයාට ලබාදෙන භාණ්ඩවල නිසි තත්ත්වය තහවුරු කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් බව ද තවදුරටත් අවධාරණය කරනු ලබන බවයි පවසන්නේ.
අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් මෙවැනි අහඹු වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පවසනවා.
අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධ නීති උල්ලංඝනයක් හෝ අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
