Image

මැදපෙරදිග අර්බුදයේ බලපෑමෙන් උද්ධමනය ඉහළට; ආර්ථිකය 4%-5% ක වර්ධන වේගයක් කරා - මහ බැංකුව වාර්තා කරයි

මැදපෙරදිග අර්බුදයේ බලපෑමෙන් උද්ධමනය ඉහළට; ආර්ථිකය 4%-5% ක වර්ධන වේගයක් කරා - මහ බැංකුව වාර්තා කරයි

මෙරට ආර්ථිකය අභියෝගාත්මක බාහිර වටපිටාවක් මධ්‍යයේ වුව ද ශක්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ.

මේවසරේ (2026 ) දෙවන කාර්තුව වන විට මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 5.1% ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එය වසර අවසානයේදී 04% සිට 05% දක්වා පරාසයක පවතිනු ඇතැයි මහබැංකුව පුරෝකථනය කර ඇත.

මේවසරේ මුල් මාසවල පහළ මට්ටමක පැවති උද්ධමනය, මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ අප්‍රේල් මාසයේ සිට වේගයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව, මහ බැංකුව විසින් නියම කර ඇති 05% ක උද්ධමන ඉලක්කය අභිභවා යමින් 2026 දෙවන කාර්තුවේ දී උද්ධමනය 5.9% ක් ලෙස වාර්තා විය.

විශේෂයෙන් ම බලශක්ති සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම මෙයට සෘජුවම බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

පවතින උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් 2026 මැයි මාසයේ දී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා ප්‍රතිශතාංක 1කින් ඉහළ නංවන ලදී. උද්ධමන අපේක්ෂාවන් ස්ථාවරව පවත්වා ගැනීම සඳහා 2023 සිට ක්‍රියාත්මක වූ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මෙසේ අවසන් කිරීමට මහ බැංකුව කටයුතු කර ඇත.

ජූලි මාසයේ පැවති සමාලෝචනයේ දී මෙම පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කෙරිණි.

විදේශීය අංශය ද දැඩි අභියෝගයකට මුහුණ දී ඇති අතර, 2026 ජූලි 21 වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.8% කින් අවප්‍රමාණය වී තිබේ.

ඉන්ධන සහ වාහන ආනයනය ඉහළ යෑම සහ සංචාරක ආදායම් අඩුවීම හේතුවෙන් 2026 මුල් භාගයේ දී විදේශීය ජංගම ගිණුම ඩොලර් මිලියන 245 ක හිඟයක් වාර්තා කර ඇත.

විදේශ ණය සේවාකරණය හේතුවෙන් 2026 ජූනි අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා මදක් පහළ ගොස් තිබේ.

මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික ආතතීන් දිගට ම පැවතුණහොත් ඉදිරි කාලයේදී උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවට මහ බැංකුව අනතුරු අඟවයි . එසේ වුව ද, ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රසාරණය වීම හරහා ආර්ථිකයේ ස්ථාවරත්වය දිගටම පවතිනු ඇතැයි ද මහබැංකුව අපේක්ෂා කරයි.

පවතින අවිනිශ්චිතතා හමුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩව සුපරීක්ෂාකාරී වන බව මහ බැංකුව පවසයි.

ජයසිරි මුණසිංහ

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න