කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමුවැයි කියන සිද්ධියකට අදාළව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයා ලබන 24 වැනිදා තෙක් පරිවාස භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේ ය.
මෙම නියෝගය නිකුත් කළේ නඩුව කැඳවු අවස්ථාවේ දී කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.
සිද්ධියට අදාල සැකකාර දරුවා මේ වන විට මාකොළ රැදවුම් නිවාසයේ සිටින බවත් එහි සිටි වෙනත් දරුවකු විසින් පහර දී මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව සැකකාර දරුවා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා අධිකරණයට දැන්වූයේ ය. තව ද පහර දුන් දරුවා මානසික ආබාධ සහිතව සිටි අයෙකු බව ද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය.
එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා පරිවාසය නිලධාරීන්ට දන්වා සිටියේ සාමාන්‍ය දරුවන් සහ මානසික ආබාධිත සහිත දරුවන් පරිවාස භූමිය තුළ වෙන්කර තැබිය යුතු බවයි. එවැනි ලෙස ක්‍රියා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවාට පහර දීම දැක්විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට නියෝග කළේ ය.
කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයා සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නැමැති බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයෙකි.
පසුගිය අගෝස්තු 08 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පරිශ්‍රයේදී මෙම සිදුවීම සිදුව තිබේ. ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටි සැකකාර සිසුවා ඇතුලු ක්‍රීඩකයන් පිරිසක් පැන් පානය සඳහා ජල කරාමය අසලට ගිය අවස්ථාවේ එහි ජලය නොතිබීම මුල් කරගනිමින් සේවකයා සහ ක්‍රීඩකයින් අතර උණුසුම් බහින්බස් වීමක් හටගෙන ඇති බවයි පොලිසිය අධිකරණයට දැන්වූයේ.
එහි දී එම සේවකයා එක් ක්‍රීඩකයකුට පහරදීමට උත්සාහ දරා ඇති අතර, පසුව මෙම 17 හැවිරිදි ක්‍රීඩකයාට ද පහරදීමට තැත් කිරීමේ දී ක්‍රීඩකයා විසින් සේවකයාට පහරක් එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බවයි විමර්ශන නිලධාරීන් ඇතිකරණයට දැන්වුයේ.පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අගෝස්තු 10 වැනිදා මියගොස් තිබෙනවා.
මියගිය තැනැත්තා හෘද රෝගියකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත්වීම නිසා, මෙම මරණය පහරදීම හේතුවෙන් සිදුවූවක් ද නැතහොත් හෘදයාබාධයක් බඳු රෝගී තත්ත්වයක් මත සිදුවූවක් ද යන්න තහවුරු කරගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී පවත්වා තිබෙන බව ද පොලිසිය දැන්වූයේ ය.
මරණ සාක්ෂි විභාගය ලබන 24 ආරම්භ කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
