Image

ධනවත් ශ්‍රී ලාංකිකයකු වෙන්න දිලිත් පාර කියයි

ධනවත් ශ්‍රී ලාංකිකයකු වෙන්න දිලිත් පාර කියයි

ව්‍යවසායකත්වය යනු ව්‍යාපාර කරනවා යන්න නොවන බවත්, ව්‍යවසායකත්වය යනු මනසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මහරගම උඩහමුල්ල කොට්ඨාසයේ සර්වජන සභා පිහිටුවමින් සිදුකළ අදහස් දැක්වීමේ දී ය.

මතු පළ වන්නේ එම අවස්ථාවේ දී දිලිත් ජයවීර කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.

ව්‍යවසායකත්ව රාජ්‍යය පිළිබඳ කතාව

''අපි මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් හදන්න හදනවා කියලා කියනකොට, හැමෝම අහන ප්‍රශ්නයක් තමයි, “මේ ඔක්කොම ව්‍යවසායකයෝ කරන්නද හදන්නේ?” කියන එක. ඒකට තියෙන උත්තරය තමයි, “ඔව්.” හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ හැමෝම ව්‍යාපාර කරන්න ඕන කියලා. ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යාපාර කරනවා කියන එකට නෙවෙයි. ව්‍යවසායකත්වය කියන්නේ මනසක්.  දේශපාලනඥයෙකුට පවා තිබිය යුතු මනසක්. පන්සලේ හාමුදුරුවන්ට තිබිය යුතු මනසක්. විදුහල්පතිතුමාට තිබිය යුතු මනසක්. ඒ තමයි ව්‍යවසායකත්ව මනස. ඒ කියන්නේ නිර්මාණශීලීව හිතන්න පුළුවන්, අවදානම් කළමනාකරණය කරගන්න පුළුවන් මනසක්. මේ මනස තමයි අපි ප්‍රවර්ධනය කරන්නේ. අපි මේ සර්වජන බලය දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කරන්නේ සාම්ප්‍රදායික අර්ථයෙන් නෙවෙයි. පැරණි දේශපාලන ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන්නේ හුදු දේශපාලනය කියන සාම්ප්‍රදායික අවශ්‍යතාව වෙනුවෙන් පමණයි. ඒවාට දේශපාලනික අරමුණු තිබුණා. බොහෝවිට ඒ දේශපාලන අරමුණු, දේශපාලන අරමුණුවලටම සීමා වුණා. අපේ ඓතිහාසික දේශපාලන වර්ධනය තුළ රටක ආර්ථික වර්ධනය කියන අත්‍යවශ්‍ය සාධකය සමඟ ඒවා ගැටගැසුණේ නැහැ.

අපේ අරමුණ ඔබ ධනවත් ශ්‍රී ලාංකිකයෙකු බවට පත් කිරීමයි

බොහෝ වෙලාවට ඒ දේශපාලන දර්ශන සාකච්ඡා කළේ රටේ දේශපාලනය කෙසේ සකස් විය යුතුද කියන කාරණයයි. හැබැයි ගැටගැහෙන්න ඕන තැන තිබුණේ අපේ මිනිසුන්ගේ දියුණුව සිදු වීමට නම්, ඒ දේශපාලන ව්‍යාපාරය ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කරන්නේ කොහොමද කියන කාරණයත් එක්කයි. එම කාරණය නොසලකා හැරීම තමයි මගේ විග්‍රහය. මම දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව අධ්‍යයනය කළා. සාම්ප්‍රදායිකව සමාජවාදය, අනෙක් අතින් ධනවාදය, තවත් විටෙක මැද මාවත වැනි සියලු දේශපාලන දර්ශන ආර්ථිකය කියන කාරණයට ලබා දුන්නේ දේශපාලනික විග්‍රහයක්. ඒ නිසා අපට අහිමි වී ගියා, අපේ කලාපයේ පවා අපට ලැබිය යුතුව තිබුණු අවම ආර්ථික දියුණුවත් ලබා ගැනීමේ අවස්ථාව. මේ රට ඉස්සරහට ගෙනයන්න නම්, අපි තුන්වන ලෝකයෙන් මිදෙන්න නම්, “දියුණු වෙමින් පවතින රටක්” කියන ලේබලය ගලවා ගන්න නම්, අපි ආර්ථික වශයෙන් දියුණු වෙන්න ඕන. අපේ මේ දේශපාලන ප්‍රවාහයේ සහ දේශපාලන උත්සාහයේ අරමුණ ඔබ ධනවත් ශ්‍රී ලාංකිකයෙකු බවට පත් කිරීමයි. අපේ මූලික අරමුණම ධනවත් ශ්‍රී ලාංකිකයා බිහි කිරීම යි. එක් අතකින් ඔබගේ ආකල්ප, අපේ රටේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය සහ අපේකම රැකගත යුතුයි. අපේකම නිසා අපට ලැබුණු බොහෝ දේ රැකගන්නා අතරම, අපි ආර්ථික වශයෙන්ද ධනවත් විය යුතුයි. මොනම හේතුවක් නිසාවත් ආර්ථික වශයෙන් ධනවත් වීම කියන සංකල්පය පැත්තකට කළ යුතුයි කියලා අපට හිතන්න බැහැ.

අපිත් එක්ක සාම්ප්‍රදායික දේශපාලනය කරන්න ඒපා

අපේ රටේ සභ්‍යත්වය තුළ ම, ප්‍රධාන සහ මූලික සභ්‍යත්වය තුළම, අපට ලබා දී ඇති පහසුව සහ දැනුම තුළම කියන්නේ අපි ආර්ථික වශයෙන්ද හැම අතින්ම දියුණු විය යුතුයි කියන එකයි. ඒ නිසා තමයි අපි මේ “ව්‍යවසායකත්ව රාජ්‍යය” කියන සංකල්පය ඔබ ඉදිරියට ගෙන එන්නේ. අපි කතා කරන්නේ ලෝකයේ දියුණුම සංකල්පයක් පිළිබඳවයි. මේක තමයි ලෝකයේ දියුණු වූ හැම රටක්ම අද වනවිට භාවිත කරලා තියෙන සංකල්පය. අද අපි මේ රටේ මිනිසුන්ගේ ජන මනසට ගෙන එන්නේ ධනාත්මක චින්තනයක්. ඒ තුළ අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අපිත් එක්ක සාම්ප්‍රදායික දේශපාලනය කරන්න නෙවෙයි. ඔබත් අපිත් එකතු වෙලා, ඔබ හැම අතින්ම ධනවත් පුද්ගලයෙකු බවට පත් කරන බවට ප්‍රතිඥාවක් ලබාදෙන දේශපාලනයක් කරන්නයි අපි ඉල්ලා සිටින්නේ. ඒ නිසා අපි මොන විදිහට ගිරිය පුප්පාගෙන කෑගැහුවත්, මෙවැනි නිශ්චිත දර්ශනයක් අපේ දේශපාලනයේ නැත්නම් ඒකෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මම උදාහරණ ගොඩක් ගන්න ඕන නැහැ. අපේ අසල්වැසි ඉන්දියාව අපි වගේම අවුරුදු හැත්තෑ හයක සාපයකට මුහුණ දුන්නා කියලා කියන්න පුළුවන්. අවුරුදු හැත්තෑ හයක් නොවුණත්, මෝදි අගමැතිතුමා බලයට පත්වෙනකම් ඔවුන් විශාල වශයෙන් පසුබැස සිටියා.

සාම්ප්‍රදායික දේශපාලන සංවාදයෙන් එළියට එන්න

ඔවුන්ටත් අපට වගේ ම “සමෘද්ධියක්” තිබුණා. සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළක් තිබුණා. ඒ කියන්නේ ආධාර වැඩපිළිවෙළක්. නමුත් ඔහුගේ ආර්ථික දර්ශනය තුළ, විශේෂයෙන්ම ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් රටේ ධන නිර්මාණය කියන සංකල්පය තුළ, අද ලෝකයේ වේගයෙන්ම දියුණු වන ආර්ථිකයන් අතර තුන්වන ස්ථානයට ඔවුන් පැමිණෙමින් පවතිනවා. එහෙනම් ඇයි අපට බැරි? අපි කුඩා රටක්. මිලියන විසි දෙකකට ආසන්න ජනතාවක් ජීවත් වන, අනෙක් අතින් සියලු සම්පත්වලින් ස්වයංපෝෂිත සහ අනූන සම්පත් ඇති රටක්. ඒ නිසා අපට බැරි වෙන්න හේතුවක් නැහැ. බැරි වෙන්න එකම හේතුව වෙලා තියෙන්නේ අපේ දේශපාලනය කවදාවත් මේ වගේ නිශ්චිත වැඩපිළිවෙළක් එක්ක ජනතාව සමඟ දේශපාලනය නොකිරීම යි. ඔවුන් පොරොන්දු දේශපාලනයක් කළා. ඔවුන් සහනාධාර කේන්ද්‍ර කරගත් දේශපාලනයක් කළා. ජනතාව රවටන දේශපාලනයක් කළා. තාරුණ්‍යය රවටන දේශපාලනයක් කළා. ඒ නිසා අද අපි ලෝකයේ දුප්පත්ම රටවල් අතරට එකතු වෙලා තියෙනවා. පසුගිය කාලය ගත්තත් අපි අතිශයින් දුප්පත් රටවල් අතරට එක්වෙමින් පවතිනවා. ලංකාවේ දරිද්‍රතාවය සියයට තිහකට ආසන්නයි. අතිශය දරිද්‍ර සහ අන්ත දුප්පත්භාවය දෙසට අපි පැමිණෙමින් පවතිනවා. අපි ඔබට ආරාධනා කර සිටින්නේ සාම්ප්‍රදායික දේශපාලන සංවාදයෙන් එළියට එන්න කියලා.

මේ මහපොළොවේ ඔබත් එක්ක එකතු වෙලා යමක් කරන්න උත්සාහ කරනවා

අපි මේ කතා කරන සහ ලෝකය පුරා සංවාදයට ලක්කර ඇති සංකල්පය තුළින් අපේ දරුවන්ට අනාගතයක් හදාගන්න පුළුවන්. අපේ ජීවිත කාලය තුළ අපට හොඳින් ජීවත් වෙන්න පුළුවන් තරම් ආර්ථිකයක් ගොඩනඟා ගන්න පුළුවන් දේශපාලනයක් කරන්න ඕන. එහෙම නැතුව අපි වෙන කිසිම දෙයක් කළත් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. අඟලක්වත් ඉස්සරහට යන්නේ නැහැ. අපි තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන දේශපාලන පක්ෂයක් හැටියට උත්සාහ කරනවා. අපේ හදවතින්ම උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඔවුන් සමඟත් එකතු වෙලා, ඔබත් එක්ක එකතු වෙලා, තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇති ශ්‍රී ලාංකිකයෙකු බිහි කරන්න අපි උත්සාහ කරනවා. තමන්ගේ යම් හැකියාවක් භාවිත කරලා, තමන්ට පුළුවන් විදිහට දියුණු වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කිරීමයි අපේ අරමුණ. සර්වජන සභා හැදෙන්නේ ඒ අර්ථයෙන්. අපි දේශපාලනය කරලා කවදාහරි දවසක බලය ලබාගෙන ඔබට යමක් ලබා දෙනවා වෙනුවට, අපට පුළුවන් විදිහට අදම, ප්‍රායෝගිකව මේ මහපොළොවේ ඔබත් එක්ක එකතු වෙලා යමක් කරන්න උත්සාහ කරනවා. මෙච්චර දුෂ්කර තත්ත්වයක් තුළ වුණත්, ඔබේ අතට යමක් ලබාගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි අපේ දේශපාලනයේ පසුබිම. ඒක තමයි අපේ දේශපාලනයේ අවංක උත්සාහය. සියලු අවංක උත්සාහයන්ට පවතින්න අමාරුයි. වංක පුද්ගලයන්ගේ හඬ සහ බොරුවේ හඬ ඊට උඩින් හැමදාම ගිය නිසා. දැන් ඒ බොරුවේ හඬ ක්‍රමයෙන් වියැකෙමින් යන මොහොතක, ඔවුන් වඳුරාට දැලි පිහිය හම්බුණා වගේ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ආකාරය අපට පේනවා. ඒක ඉතාම කනගාටුදායකයි. සමාජ මාධ්‍ය ජාලා තියෙන්නේ ලෝකයේ දියුණු රටවල ව්‍යවසායකයන්ට තමන්ගේ දියුණුව සඳහා ලෝකයේ සමාන අවස්ථාවක් ලබා දුන් එක අවස්ථාවක් ලෙසයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න