Image

ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශනට ඇප

ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශනට ඇප

ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සැල් 55ක් ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදනය ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම  අද(18) නියෝග කළේ ය.

සැකකරුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද , සාක්ෂි කරුවන්ට බලපෑම් නොකරන ලෙසටද නියෝග කළේ ය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ: 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර සෘජුව ම තෝරාගත් ආයතන 02ක් වෙත ඉදිකිරීම් සහ අලුත්වැඩියාවට අනුමැතිය ලබාදීමෙන් මෙන් ම එකී ආයතන 02 වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීමට සැලැස්වීම තුළින් දූෂණය නමැති වරද කිරීමේ චෝදනාව මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බව ය.

සිද්ධියට අදාළව ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා ගෙන් සහ තවත් සාක්ෂිකරුවන් දස දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බව ද පවසා සිටියේ ය. එහි දී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන සාක්ෂිකරුවන් ගෙන් ප්‍රකාශ සටහන් නොකර හදිසියේ ම සැකකරු අත්අඩංගුවට ගැනීමට හේතුවක් තිබේදැයි විමසා සිටියේ ය.

ඊට පිළිතුරු ලබාදුන් අල්ලස් කොමිසම ප්‍රධාන කොන්ත්‍රාත් කරුවන් දෙදෙනා අසනීප තත්ත්වයේ සිටි බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවත්, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ පාලිත සුභසිංහ කරුණු දක්වමින් අදාළ විමර්ශනයට මුල සිට ම සහය දක්වා ඇති සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිමින් මෙසේ පැවසී ය.

මගේ සේවාදායකයා මෙහි සභාපති වන්නේ 2010 වර්ෂයේ ඒ වෙන විට ලංකා ධීවර සංස්ථාවට ඊටීඑෆ්,ඊපී එප් වත් ගෙවා ගන්න විදිහක් නැහැ. සැකකරු මේ තත්ත්වය නැති කරලා ලාභ ලබන තත්ත්වයට ධීවර සංස්ථාව පත්කළා. මේ අලවිසල් ජාලය ඇති කළේ ශ්‍රී ලංකා මහා බණ්ඩාගාරයෙන් රුපියල් මිලියන පහක සහ ලංකා බැංකුවෙන් රුපියල් මිලියන සීයක ණයක් අරගෙන. සැකකරු වැරදිකරුද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ නඩු විභාගයකින්, එම නිසා මේ අවස්ථාවේ දී ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ වගේම මගේ සේවා දායකයා දරුණු රෝග කීපයකින් පෙළෙන අයෙක් . ඔහු ජීවත් වන්නේ එක වකුගඩුවකින්. ඊට අමතරව ඔහුට විනාඩි කිහිපයක්වත් නැගිටලා ඉන්න බැහැ කොඳු ඇට පෙළ දුර්වල වෙලා. මේ සියලු කරුණු සලකා බලා 2010 වර්ෂයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඕනෙම වෙලාවක අල්ලස් කොමිස මේ විමර්ශනවලට සහාය දෙන්න අපි සූදානම්.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා නොදීමට තරම් ප්‍රබල හේතුවක් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ලබාදෙන බවට තීරණය කළේ ය.

විමර්ශන ප්‍රගතිය නොවැම්බර් හය දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කලේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න