අලි-මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුමක් ලෙස වන අලින් ගේ සංචරණ රටා සෙවීමට 'Misavanah' නමින් නව මෘදුකාංගයක් සහිත විශේෂිත රේඩියෝ කරපටි (Radio Collars) පැලඳවීමට නව වැඩපිළිවෙළක් අරඹයි.
ලෝක වන අලි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට තිරසාර විද්‍යාත්මක විසඳුමක් සෙවීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (දෙවන අදියර) මගින් සුවිශේෂී තාක්ෂණික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. වන අලින් ගේ ස්වාභාවික සංචරණය පහසු කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම මෙහි ප්‍රධාන අරමුණ ය.

මේ යටතේ වන අලින් 60 දෙනෙකු සඳහා විශේෂිත රේඩියෝ කරපටි (Radio Collars) පැලඳවීමට කටයුතු කර ඇත. මෙම කරපටි මගින් වන අලින් ගමන් කරන මාර්ග සහ ඔවුන්ගේ සංචරණ රටා නිවැරදිව හඳුනාගැනීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් අලි මංකඩවල් (Corridors) විවෘත කිරීම, කුළු වැව් ප්‍රතිසංස්කරණය කිරීම, ආහාර සුලභ කිරීම සහ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම යනාදි ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම රේඩියෝ කරපටිවලින් දත්ත ලබාගන්නා ආකාරය සහ යම් හෙයකින් අක්‍රිය වූ හෝ අතරමග දී ගැලවී ගිය කරපටි නැවත සොයාගන්නා ආකාරය පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් ගිරිතලේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වා ඇත.
මේ සඳහා ප්‍රධාන සම්පත්දායකත්වය සපයන ලද්දේ කෙන්යානු ජාතික පරිසරවේදියෙකු වන ටොඩ් (Todd) මහතා විසිනි. ඔහු විසින් වනජීවී නිලධාරීන්ට රේඩියෝ කරපටි පැළඳවූ අලින් ගේ සංචරණ දත්ත ලබාගැනීම සඳහා භාවිත වන 'Misavanah' නැමති මෘදුකාංගය (Software) ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මෙන්ම අතුරුදන් වූ කරපටි සෙවීමේ තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ද විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී.

ගිරිතලේ පැවති න්‍යායාත්මක පුහුණුවෙන් අනතුරුව, රේඩියෝ කරපටි පැලඳවූ වන අලින් ආශ්‍රයෙන් වනජීවී නිලධාරීන් සඳහා ප්‍රායෝගික පුහුණු සැසියක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ දී සාර්ථකව පැවැත්වී ය. මෙම අවස්ථාව සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම එහි පශු වෛද්‍යවරුන් ද සක්‍රීයව සහභාගී වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
