Image

මේ වසරේ (2026) යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට කඩිනම් රජයේ වැඩපිළිවෙළක්

මේ වසරේ (2026) යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට කඩිනම් රජයේ වැඩපිළිවෙළක්

මෙ වසරේ (2026) යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් රජයේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට රුපියල් මිලියන 25ක පොළී රහිත සහන මූල්‍ය පහසුකම් ලබා දෙයි.

වසර 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය විසින් සුවිශේෂී කඩිනම් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත. රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීමත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳපොළ තුළ සහල් මිලදී ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණකි. මීට අමතරව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නඟා සිටුවීම ද මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහය ඇතිව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සෘජුවම ක්‍රියාත්මක කරනු ලබයි. වැඩසටහනේ සමස්ත අධීක්ෂණ කටයුතු ජනාධිපති කාර්යාලය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට නියමිතය.

දෛනිකව වී මෙට්‍රික් ටොන් 25ක උපරිම කෙටුම් ධාරිතාවයකින් යුත්, ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්. එම ධාරිතාවයෙන්ම යුතු වී මෝල් හිමිකාරිත්වය දරන සමුපකාර සමිති. ඇතුලු මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත උපරිම වශයෙන් රුපියල් මිලියන 25ක් දක්වා වූ පොළී රහිත සහනදායී මූල්‍ය පහසුකමක් රජය විසින් ලබා දෙනු ඇත.

අරමුදල් ලබාගත් දින සිට උපරිම වශයෙන් දින 240ක කාලයක් ඇතුළත මිලදී ගන්නා ලද වී, සහල් බවට පත්කර වෙළෙඳපොළ තුළ අලෙවි කර ලබාගන්නා සමස්ත මුදලින් මෙම ණය මුදල පියවිය යුතුය. මෙම සහන කාලසීමාව සඳහා කිසිදු පොළියක්, කොමිස් මුදලක් හෝ වෙනත් අමතර ගාස්තුවක් අය කරනු නොලැබේ.

මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වන මෝල් හිමියන් සහ සමුපකාර සමිති විසින් අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය රජයේ සහතික මිල යටතේ ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත යුතුය. රජය විසින් නියම කර ඇති සහතික මිල ගණන් පහත පරිදි වේ.

ප්‍රමිතියෙන් යුතු රතු හා සුදු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120.00, ප්‍රමිතියෙන් යුතු සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130.00 කට ලබා ගත යුතු වේ.

වසර 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ මෙම විශේෂ වැඩසටහන 2026 අගෝස්තු මස 12 වන දින සිට නිල වශයෙන් ආරම්භ කර ඇත.

ඒ අනුව, ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇති සියලුම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට මෙම වැඩසටහන සමඟ එක්වන ලෙසත්, ඒ සඳහා තම ප්‍රදේශයේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් කඩිනමින් ලියාපදිංචි වන ලෙසත් රජය දැනුම් දෙයි.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න