පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් මස 14වැනිදා සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයාකාඩි යන අයගේ සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන කලාපයක පිහිටි යාල උද්‍යානයේ I සහ II කලාප, අතීතයේ සිටම වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හා අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය (Heat Stress) අවම කිරීම පිණිස සම්ප්‍රදායිකව වසා තැබිණි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී දුන් උපදෙස් මත සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) හා සංචාරකයන් ගෙන්වන ආයතනවල සංගමය (SLAITO) ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පසුගිය 24වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
නියඟයෙන් පීඩාවට පත් සතුන් උදෙසා අඛණ්ඩව ජලය සැපයීම සහ උද්‍යානය තුළ පිහිටි ස්වාභාවික වැව්, පොකුණු හා දියවලවල් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදු කරන අතර කලාප I සහ II තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩනැගිලි, සංචාරක නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම්වල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතය.ෙ
මෙම කාලසීමාව තුළ I සහ II කලාප තුළට ඇතුළුවීමට අවසර හිමිවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අදාළ කාර්ය මණ්ඩලයට පමණි. එම කලාපවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය විවෘතව පවතින සෙසු කලාපවල සේවාවන් සඳහා යොදවනු ඇත.
සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරමින්, නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති යාල ජාතික උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයින් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතී. මෙම කාලසීමාව තුළ දිවයිනේ පිහිටි අනෙකුත් වනෝද්‍යාන (උදා: උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, විල්පත්තුව) ඇතුළු ස්වාභාවික පරිසර සංචාරක ගමනාන්ත වෙත යොමුවන ලෙස සංචාරකයින්ගෙන් හා සංචාරක නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින අතර පවතින දේශගුණ තත්ත්වය තවදුරටත් පැවතීම, වර්ෂාව ලැබීම හෝ ගංවතුර තත්ත්වයක් ඇතිවීම වැනි ඉදිරි කාලගුණ විපර්යාස සැලකිල්ලට ගනිමින් මෙම වසා තබන කාලසීමාව අඩු කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබඳව ඉදිරියේදී යාවත්කාලීන දැනුම්දීම් සිදු කරනු ලැබේ.
වනජීවී සම්පත රැකගනිමින් පරිසර පද්ධතියේ තිරසර පැවැත්ම තහවුරු කිරීමට ගනු ලබන මෙම පියවර සඳහා සියලු සංචාරක ප්‍රජාවගේ සහ මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
