Image

මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් විස්සකට නොතීසි

මීගමුව ප්‍රධාන ජේලර් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් විස්සකට නොතීසි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු බන්ධනාගාර නිලධාරීන් 20 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධ වූ නඩුකරය අද (28) යළිත් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා. එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය නඩුවාරයේ දී සැකකරුවන් 70ක් නම් කර තිබූ අතර අද දින සැකකරු අංක 1 සිට 6 දක්වා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකරවන් හතරක් හඳුනා ගනියි

කෙසේවෙතත් සෞඛ්‍ය හේතු මත වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් අද දින සැකකරුවන් දෙදෙනකු ඉදිරිපත් නොකළ අතර සැකකරුවන් හතර දෙනෙකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන් 04 දෙනකු අධිකරණයට ඉදිරිපත් කළා. අද දින ඉදිරිපත් නොකළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අධිකරණයට ලිපි ඉදිරිපත් කරනු ලැබිීය.

සාක්ෂිකරුවන් සහ සැකකරුවන් පොලිස් සහ එස්.ටී.එෆ් නිලධාරීන් ගේ දැඩි ආරක්ෂාව හමුවේ අධිකරණ නියෝග පරිදි ආවරණය කර අධිකරණයට රැගෙන ආවා. අනතුරුව මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉද්‍රරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුකරය පසුව කැඳවීමට නියම කළා. අනතුරුව සැකකරුවන් සිව් දෙනා හදුනාගැනීමේ පෙරට්ටු කාමරය වෙන රැගෙන ආවා. ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය පැමිණ හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට කටයුතු කර  ඇත.

මෙම කටයුත්ත පැවැත් වුණේ පූර්ණ ආරක්ෂක රැකවල් මධ්‍යයේ සම්පූර්ණ ආවරණය කරමිනි. ඒ අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා පෙරට්ටු කාමරය වෙත පැමිණිමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුව ආරම්භ විය. එහිදී හඳුනා ගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවෝ 4 දෙනෙක් ඉදිරිපත් වූ අතර ඔවුන් විසින් සැකකරුවෝ ගන්නා ලදී.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 2100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් තවත් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන්දීය ජාතිකයා ගේ මෘත දේහය හඳුනා ගැනීමට ඥාතීන් නොපැමිණේ

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එහි දී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ උප පොලිස් කොස්තාපල් දුලංග වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.

"ස්වාමීනි. සැකකරුවන් 70ක් නම් කරා මීට පෙර අවස්ථාවේ දී. එම සැකකරුවන්ගෙන් 35 සහ 36 වන සැකකරුවන් මේ වන විට මිය ගොස් ඇති බවත් 43 වැනි සැකකරු ම 69 වෙනි සැකකරු ලෙස මුද්‍රණ දෝෂයකින් සටහන් වී ඇති බව අධිකරණයට දැනුම් දෙනවා. ඒ අනුව සැකකරුවන් 67ක් දැනට නම් කර සිටිනවා. ඒ වගේම ස්වාමිනි අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට ලබා දුන් නඩු භාණ්ඩවලට අදාළ ලේඛන භාර දෙනවා."

ඉන් අනතුරුව බන්ධනාගාර සිද්ධියේ දී මිය ගිය ඉන්දීය ජාතිකයා ගේ මෘත දේහය හඳුනා ගැනීමට ඥාතීන් නොපැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සිය දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ද නිලධාරීන් සඳහන් කළා.

අනතුරුව නඩුකරය යළිත් කැදවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්‍තු නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

"ස්වාමීනි, මෙම ගැටුමෙන් ඉන්දීය ජාතිකයකු මියගියා.ඔහුගේ මෘත ශරීරය හදුනාගැනීමට ඔහුගේ ඥාතීන් සම්බන්ධ කරගැනීමට කටයුතු කළා.එහිදී 08/25 දින ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඊ මේල් පණිවුඩයක් හරහා දැනුවත් කර තිබෙනවා ඔහුගේ මල සිරුර හදුනාගැනීමට ඥාතීන් නොමැති බව.එම ඊ මේල් පණිවුඩය අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ අනුව එම ඉන්දීය ජාතිකයාගේ මල සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන් ම ආණ්ඩුවේ වියදමින් මෙම මල සිරුර මීගමුව පොදු සුසාන භුමියේ මිහිදන් කිරීමට මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. තවද භූමදානය සිදු කරන ස්ථානය පිලිබද වාර්තාවක් ලබා දෙන ලෙසද මහ නගර සභාවේ නගරාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා."

බන්ධනාගාර දොර කවුළුවෙන් වෙඩි තියනවා අපි දැක්කා

ඉන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා අධිකරණයේ කරුණු දැක්වුවා.

"ස්වාමිනි, මෙම සිදුවීමෙන් රැදවියන් විශාල ප්‍රමාණයක් වෙඩි තැබීම්වලින් මිය ගියා.මෙම වෙඩිතැබීම් වුණේ කොහොමද කවුද කියලා සාකෂි, සැකකරුවෝ නම් කරලා නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය රෙගුලාසිවල තියෙනවා වෙඩි තැබීම පාලනය කල නොහැකි අවස්ථාවල දී මරණීය තුවාල සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට හැකි බව. නමුත් මෙහිදී එහෙම පේන්නැහැ. මරණය ඇති කරන්නම කලා වගේ අපිට පේන්නේ, අපි දැක්කා බන්ධනාගාර දොර කවුළුවෙන් වෙඩි තියනවා. 294 වගන්ති ප්‍රකාරව මේක මිනී මැරීමේ අපරාධයක්. ඒ සම්බන්ධව යුක්තිය ඉටු වෙනවද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාගේ හරි බලපෑමක් තියෙනවද කියලා ඔබතුමී බලන්න ඕන. රැදවියන්ගේ ඥාතීන් බලන් ඉන්නවා ඔවුන්ට යුක්තිය ඉටු වෙනකම්. මේ සම්බන්ධව රැදවියන්ට වෙඩි තැබීම් සිදුකල අයව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

රැඳවියන් අවි ගාරය කඩා අවි 32ක් පැහැරගෙන

එහිදි මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යමක් ප්‍රකාශ කිරීමට ඇත්ද යන්න යි.

ඊට පිළිතුරු දෙමින් උප පොලිස් කොස්තාපල් දුලංග මෙසේ පවසා සිටියා.

"ස්වාමීනි.රැඳවියන් ගැටුම අවස්ථාවේ දී අවි ගාරය කඩා අවි 32ක් ඔවුන්ගේ භාරයට අරන් තියනවා. එම ස්ථානයේ රජයේ රසපරික්ෂක ඇතුළු විශාල පිරිසක් ස්ථානීය පරික්ෂණ සිදු කරලා තියනවා. ඒවායේ වාර්තා ලැබුනු පසු තමයි වෙඩි තැබීම් සිදුව ඇත්තේ නිලධාරීන් ගේ ගිනි අවි වලින් ද රැඳවියන් ගේ ගිනි අවිවලින්ද කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග ලබා දුන් අතර සැකකරුවන් 67 නිල මැදිරියේ දී සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළා. එමෙන්ම සැකකරුවන් ලබන සැප්තැම්බර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට සැකකරු අංක 1 සිට 6 දක්වා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කළා. සැකකරුවන් එදිනටත් සුම් තාක්ෂණය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.

එහි දී මහෙස්ත්‍රාත්වරිය හදුනාගැනීමේ පෙරට්ටුව සදහා දීර්ඝ කාලයක් යන බැවින් හදුනාගැනීමේ පෙරට්ටු කටයුතු කඩිනමින් ඉක්මන් කර අවසන් කිරීමට පිලියමක් යොදා කටයුතු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට අවධාරණය කර සිටියා.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න, උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග, උප පොලිස් පරික්ෂක මධුසංක , පොලිස් කොස්තාපල් දුලංග, සහ (1315) ජයසුරිය, (97257) බණ්ඩාර, අනිල් අසේල (87113), (108388) හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න