Image

ප්‍රථම වතාවට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමේ සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදාවෙලා - නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර

ප්‍රථම වතාවට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමේ සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදාවෙලා - නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර

දේශීය සම්පත් පමණක් උපයෝගී කරගනිමින් විදේශ ණය මත යැපීමකින් තොරව මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමේ සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවස යි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ කොළඹ දී පැවැති දේශීය ආදායම් පරිපාලන විධායක නිලධාරීන්ගේ සංගමයේ 13 වන වාර්ෂික මහා සභා රැස්වීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. මෙහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ආදායම් උපයා දීමේ දී ඉටුකරන වැදගත් කාර්යභාරය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි ප්‍රගතිය පිළිබඳවද කරුණු පැහැදිලි කළේ ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පවරා තිබූ ඉතිහාසයේ ඉහළම ආදායම් ඉලක්කය ද අභිභවා යමින් 2025 වසරේ දී රුපියල් බිලියන 42කට ආසන්න අතිරේක ආදායමක් උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. එමෙන්ම, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ද තමන් වෙත පවරා ඇති ආදායම් ඉලක්කය දළ වශයෙන් සියයට 16ත් 18ත් අතර ප්‍රතිශතයකින් ඉක්මවා යාමට දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවද ඔහු සඳහන් කළේ ය.

රජයේ බදු ආදායම් ඉලක්ක මෙලෙස ඉක්මවා යෑම හේතුවෙන් රජයට අතිරේකව ලබා ගැනීමට සිදුවන ණය ප්‍රමාණය අවම වන අතර, එමගින් රටේ ණය සේවාකරණය සහ පොලී ගෙවීම් බර අඩු කර ගැනීමට හැකිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

දේශීය සම්පත් මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් සැපයීමට මෙයින් විශාල ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වන අතර, රටේ ණය බර අවම කිරීම උදෙසා සක්‍රීය දායකත්වයක් සපයන දේශීය ආදායම් පරිපාලන විධායක නිලධාරීන් වෙත රජයේ ප්‍රණාමය හිමිවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. රජයේ නිලධාරීන්ගේ මෙම කාර්යක්ෂම බදු එකතු කිරීමේ උත්සාහය නිසාම විදේශ ණයවලින් තොරව දේශීය අරමුදල් පමණක් භාවිත කරමින් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ ඓතිහාසික අවස්ථාව රටට උදා වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී හිඟය හේතුවෙන් සේවකයින් මුහුණ දෙන අධික සේවා බර සහ පීඩනය අවම කිරීම සඳහා රජය සෘජුව මැදිහත් වී ඇත. ඒ අනුව පවතින පුරප්පාඩු පියවීම සඳහා නව බඳවා ගැනීම් වෙනුවෙන් රජයේ අනුමැතිය හිමිවී ඇති බැවින්, අවශ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මීට අමතරව, 2025 වසරේ සිට ක්‍රියාත්මක වූ වැටුප් වර්ධකවලට අනුකූල වන පරිදි නිලධාරීන්ගේ දිරි දීමනා ගෙවීම් සකස් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, දෙපාර්තමේන්තුව සඳහා දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති නව ගොඩනැඟිල්ල වසර දෙකහමාරක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසී ය.

මෙම අවස්ථාවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලන විධායක නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

ජේ.මුණසිංහ

nishantha J

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න