රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහයක් අතරතුර කළ ප්‍රකාශ සහ එම නඩුවට අදාළව එයින් පසු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණය නියෝග කරයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යොමුකර තිබූ මෙම පැමිණිල්ල ඊයේ (8) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර, එහිදී අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.
මෙහි චෝදනා එල්ල වී ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන හය දෙනාටය. ජූලි 7 සිට 15 දක්වා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයේදී ඔවුන් කළ බව කියන ඇතැම් ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරන ස්වභාවයක් ගන්නා බව CID විමර්ශනයෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම ක්‍රියාවලියට අදාළ වන්නේ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනතේ 10 වගන්තිය යි. එම වගන්තිය අනුව, මහේස්ත්‍රාත් අධිකරණයක් බඳු පළමු අවස්ථා අධිකරණයකින් යොමු කරන ලද පැමිණිල්ලක් අභියාචනාධිකරණයට සලකා බැලිය හැකි ය. අභියාචනාධිකරණය එහි ඇති ලේඛන, සාක්ෂි සහ යොමුකිරීම සලකා බලා බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු (prima facie case එකක්) තිබෙනවා ද යන්න සලකා බැලිය යුතු ය. එවැනි prima facie case එකක් තිබෙන බවට අභියාචනාධිකරණය සෑහීමකට පත්වුවහොත්, ඊළඟ වැදගත් පියවර වන්නේ අදාළ පුද්ගලයන්ට “Rule” එකක් නිකුත් කිරීම යි. සරලව ගත් විට එය, ''ඔබට එරෙහිව මේ මේ කරුණු මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් තිබෙනවා; එයට පිළිතුරු දෙන්න'' යන නිල දැනුම්දීමක් බඳු ය.
පනත අනුව එම Rule එක රෙජිස්ට්‍රාර්වරයා විසින් අත්සන් කළ යුතු අතර, චෝදනාවේ කරුණු එහි ලිඛිතව සඳහන් කළ යුතු ය. එය අදාළ පුද්ගලයාට පෞද්ගලිකව භාරදී, චෝදනාව විභාග කිරීම සඳහා දිනයක් ද නියම කළ යුතු ය.
මේ පිළිබද සාධාරණ නඩු විධානයක් චූදිතයන්ට ලැබෙන අතර නඩු විභාගයේදී නීතිපතිවරයාට අවශ්‍ය නම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඉදිරිපත් කළ හැකි අතර, චෝදනා ලැබූ පුද්ගලයන්ට එම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න කිරීමේ අයිතිය තිබේ. එමෙන්ම තමන්ගේ පැත්තෙන් දිවුරුම් ප්‍රකාශ සහ වෙනත් සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනාවට පිළිතුරු දීමටද ඔවුන්ට අවස්ථාව හිමිවේ. ඉන් අනතුරුව අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව තහවුරු වෙනවාද නැද්ද යන්න තීරණය කරනු ඇත.
අභියාචනාධිකරණය අවසානයේ ලබාදෙන නියෝගයකට හෝ තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ අයිතිය ද පනතෙන් සලසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
