කළු සල්ලි සුදු කිරිම වැළැක්වීම බැංකුවලට පමණක් සීමා වූවක් නොවන බවත්, මූල්‍ය නොවන නියමිත ව්‍යාපාර සහ වෘත්ති (DNFBPs) මෙන්ම නීතිඥවරුන්, නොතාරිස්වරුන් සහ ස්වාධීන නීති වෘත්තිකයින් වෙත ද එහි වගකීමක් පැවරී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය 08වන දා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් සංවිධානය කරන ලද කොළඹ පැවැති සමුළුවකට සහභාගි වෙමිනි.
ආසියා-පැසිෆික් කලාපීය කණ්ඩායම (APG) මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය හමුවේ, මෙරට මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය රැකගැනීම සඳහා නීති රාමුවක් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එම නීති ක්‍රියාත්මක කිරීමේ සක්‍රීයතාව සහ ප්‍රායෝගික ප්‍රතිඵල පෙන්වීම අතිශය තීරණාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ කියා සිටියේ ය.
පසුගිය අන්‍යෝන්‍ය ඇගයීම් වට දෙකේ දී ම ශ්‍රී ලංකාව පහළ මට්ටමකට ඇද වැටෙමින් අළු ලැයිස්තුවට (grey list) ඇතුළත් වූ බව පෙන්වා දෙන හෙතෙම, මෙවර නැවතත් එම අහිතකර තත්ත්වයට පත් නොවී සිටීම තහවුරු කළ යුතු බව අවධාරණය කරයි. ඒ සඳහා දැනටමත් ප්‍රධාන සංශෝධිත පනත් තුනක් බලාත්මක කර ඇති බව ද කීය.
2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත, 2026 අංක 17 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත,2026 අංක 18 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත ආදිය යි. නමුත් පවතින තත්ත්වය හමුවේ පනත් හා නීති රාමුවක් පැවතීමට වඩා, එම නීති සක්‍රීයව අදාළ කරමින් ඵලදායී ප්‍රතිඵල පෙන්වීම වත්මන් ඇගයීම් ක්‍රියාවලියේදී අතිශයින් වැදගත් වන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.
මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා සැකකටයුතු ගනුදෙනු වාර්තා (Suspicious Transaction Reports - STR) වේලාවට ඉදිරිපත් කිරීම ප්‍රධානතම පදනමකි. මත්ද්‍රව්‍ය ජාවාරම, බදු වංචා, මූල්‍ය වංචා, දූෂණය ඇතුළු නීති විරෝධී කටයුතු සහ මූල්‍ය අපරාධ හඳුනාගැනීම, වැළැක්වීම සහ මර්දනය කිරීම සඳහා මෙම වාර්තා මගින් විශාල කාර්යභාරයක් ඉටු කරන බව ද අධිපතිවරයා කියා සිටියේ ය. මෙම වාර්තාකරණ වගකීම බැංකුවලට පමණක් සීමා නොවූවක් වන අතර, මූල්‍ය නොවන නියමිත ව්‍යාපාර සහ වෘත්තීන් (DNFBPs) මෙන්ම නීතිඥවරුන්, නොතාරිස්වරුන් සහ ස්වාධීන නීති වෘත්තිකයන් වෙත ද පැවරී ඇත. කෙසේ වෙතත්, පසුගිය වසර 6 ක කාලය තුළ (2020-2026) සමස්ත නීති ක්ෂේත්‍රයෙන්ම ඉදිරිපත් වී ඇත්තේ සැකකටයුතු ගනුදෙනු වාර්තා (STR) දෙකක් පමණක් බව හෙළි කරන අධිපතිවරයා, එය ඉතා පහළ මට්ටමක පවතින කනගාටුදායක හා අවධානය යොමු විය යුතු තත්ත්වයක් බව අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
නීතිමය අනුකූලතාව පවත්වා ගැනීම නියාමන බරක් ලෙස නොසිතා, තමන්ගේ වෘත්තියේ අභිමානය, ආයතනයේ ගෞරවය සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය මෙන්ම රටේ ආර්ථිකය අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා කෙරෙන දායකත්වයක් ලෙස සලකන ලෙස මහ බැංකු අධිපතිවරයා සියලු වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියි.
(ජේ.මුණසිංහ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
