හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊයේ (16) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇයට සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ලිඛිත දැනුම්දීමක් භාරදී ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තිය යටතේ නිකුත් කර ඇති එම දැනුම්දීම මගින් සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වාර්තා කරන ලෙස ශිරන්ති රාජපක්ෂට දැනුම්දී ඇත.
ඇය ඊයේ ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තිය අනුව, අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන පොලිස් නිලධාරියකුට හෝ විමර්ශකයකුට, එම සිද්ධියේ කරුණු සහ තත්ත්ව පිළිබඳ දැනුමක් ඇතැයි පෙනී යන පුද්ගලයකුට තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ලිඛිත නියෝගයක් නිකුත් කළ හැකි ය. එවැනි ලිඛිත නියෝගයක් මත අදාළ පුද්ගලයා පෙනී සිටිය යුතු බව එම වගන්තියේ සඳහන් වේ.
ශිරන්ති රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇත්තේ සිරිලිය සවිය වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB විසින් ලබාදී ඇති රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ය. එම මුදල ලබාගෙන ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා CT Scanner යන්ත්‍රයක් ලබාගැනීම සඳහා බව විමර්ශන තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
සිරිලිය සවිය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත NSB බැංකුව එම රුපියල් මිලියන 10 ලබාදී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එවකට බැංකුවේ සේවය කළ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා අදාළ CT Scanner යන්ත්‍රය චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව අනාවරණය වීමත් සමග, NSB බැංකුවෙන් CT Scanner යන්ත්‍රය සඳහා ලබාගත් බව කියන රුපියල් මිලියන 10ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනය කේන්ද්‍රගත වී තිබේ. ඒ අනුව, එම මුදල ලබාගැනීම සඳහා NSB වෙත ඉදිරිපත් කළ ඉල්ලීම, මුදල සිරිලිය සවිය සම්බන්ධ ගිණුම් වෙත බැර වූ ආකාරය සහ පසුව එම මුදල් භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතී.
මෙම සිරිලිය සවිය විමර්ශනයට අදාළව 2026 පෙබරවාරි තුන්වන දා ද ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබුණි. එදින ඇයගෙන් පැය හතරකට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබූ බව වාර්තා විය.
අලුත් ම විමර්ශනවල දී NSB බැංකුවෙන් ලබාදුන් රුපියල් මිලියන 10 සම්බන්ධයෙන් ද ඇයගෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණි.
සැප්තැම්බර් 14වන දා ශිරන්ති රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වී තිබුණේ ඇය අසනීප තත්ත්වයෙන් සිටින බව දැනුම්දී තිබීම හේතුවෙනි.
මූලාශ්‍ර - whatnews.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
