Image

අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ සිදු කළ නිල සංචාරය සාර්ථකයි; ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක්

අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ සිදු කළ නිල සංචාරය සාර්ථකයි; ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලපාන් අමෝර්න්විවාට්ගේ ආරාධනයකට අනුව, 2026 සැප්තැම්බර් 14 සිට 16 වැනි දින දක්වා තායිලන්තයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළේ ය.

ශ්‍රී ලාංකිකයන් සඳහා නිපුණතා මත පදනම් වූ යහපත් විදේශ රැකියා අවස්ථා

813698683 1649554249862276 152295678787445317 n 1

දෙදින නිල සංචාරය අතරතුර දී, අමාත්‍ය හේරත් සහ තායිලන්ත කම්කරු අමාත්‍ය අමෝර්න්විවාට් විසින් කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවා නියුක්ත කිරීම පිළිබඳ එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා 10,000ක් විවෘත කෙරිණි. මෙම ගිවිසුම් මගින් තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ සේවා නියුක්ත කිරීම සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කරන අතරම, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ද අරමුණු කරයි. තවද, ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ගමනාන්ත විවිධාංගීකරණය කිරීමට මෙන්ම, ශ්‍රී ලාංකිකයන් සඳහා නිපුණතා මත පදනම් වූ සහ යහපත් විදේශ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට ද මෙම ගිවිසුම් දායක වේ.

812281293 1649554263195608 7116172605531790101 n 1

අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය සරුන් චරොන්සුවන් සමග ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම කෙරෙහි අවධානය යොමු කළේ ය. විශේෂයෙන් ම ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරිණි. සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා යෝජිත ද්විපාර්ශ්වික වීසා නිදහස් කිරීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, එහි අරමුණ වූයේ දෙරට අතර බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා පහසුකම් සැලසීමයි.

 

සංක්‍රමණ සහ ශ්‍රම සංචලතා සහයෝගීතාව වැඩිදියුණු කරයි

812754830 1649554403195594 579457579426562254 n

සිය නිල සංචාරයේ කොටසක් ලෙස, අමාත්‍ය හේරත් තායිලන්ත සංචාරක අධිකාරියේ (TAT) ආණ්ඩුකාරවරයා සමග ද සාකච්ඡා පැවැත්වීය. එහි දී දෙපාර්ශ්වය සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සහ සංචාරක ගමනාන්ත ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් අතර, තායිලන්තයේ අත්දැකීම් සහ හොඳම භාවිත වෙත විශේෂ අවධානය යොමු කෙරිණි. ගමනාන්ත සංවර්ධනය සඳහා නවෝත්පාදන ප්‍රවේශ භාවිත කිරීම, තාක්ෂණය යොදා ගැනීම සහ සංස්කෘතික උරුම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුව මගින් වැදගත් අවබෝධයක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ හොඳම භාවිත හුවමාරු කර ගැනීම ද එහි අරමුණ විය.

මෙම සංචාරය අතරතුරදී තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික නායකයින් සමග ද සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ පවතින විභව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර වැඩිදුර සබඳතා සහ සහයෝගීතාව සඳහා පහසුකම් සැලසීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක හා රැකියා ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට, සංක්‍රමණ සහ ශ්‍රම සංචලතාව සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩිදියුණු කිරීමට, දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව සලසා දුන්නේ ය.

මෙම සංචාරයේදී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු අමාත්‍ය හේරත් සමඟ එක්ව සිටියහ.

vhwi

 

(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න