උතුරු පළාත් සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ චාවකච්චේරිය මුලික රෝහලේ රුපියල් මිලියන 336ක වියදමින් අංග සම්පුර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් (Drug Store & Staff Quarters) හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුල්ගල තැබී ය.

උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් රජය දියත්කරන නව වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති ද්විත්වය පළාත් සභා අරමුදල් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ අනුව චාවකච්චේරිය මුලික රෝහලේ නව ඖෂධ ගබඩාව සමඟ කාර්ය මණ්ඩල නිවාස සංකීර්ණ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 282.52කි. මෙහි ඉදිකිරීම් 2027 වසරේ අගෝස්තු මස අවසන් කිරීමට සැලසුම් කර ඇත.
සෝපානය සහ යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 53ක්

රෝහලේ සෝපානය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද මීට සමගාමීව ආරම්භ වූ අතර ඒ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 53කි. එම ප්‍රතිපාදන උතුරු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ලබාදෙනු ලබන අතර මෙම ව්‍යාපෘතිය 2027 මැයි මස අවසන් කිරීමට සැලසුම් කර ඇත.
ඉහත ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීමෙන් පසු රෝහලේ නිරීක්ෂණයක ද නිරත වූ අමාත්‍යවරයා රෝහල මගින් ලබාදෙන වත්මන් සෞඛ්‍ය සේවාවන් සහ පවතින මානව හා භෞතික සම්පත් අවශ්‍යතාවයන් සහ වෘත්තීය ගැටලු පිළිබඳව ද රෝහල් කාර්ය මණ්ඩලයේ අදහස් විමසීමට ද කටයුතු කළේ ය.
මෙම වසර තුළ දී කාර්ය මණ්ඩල අනූමත කිරීමේ කටයුතූ සම්පූර්ණ කරයි

රෝහල මගින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් මෙහි දී ඇගයීමට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 2017 වසරින් පසු සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල අනූමත කිරීම් (Cadre Revision) සිදූ නොවීම ගැටලුවක් බවත් මෙම වසර තුළ දී කාර්ය මණ්ඩල අනූමත කිරීමේ කටයුතූ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසී ය. උතුරු පළාතේ පත්වීම් ලබාදුන් සෞඛ්‍ය කාර්ය සහායක 350 අතරින් 10 දෙනෙකු චාවකච්චේරිය රෝහලට අනුයුක්ත කරන බව ද පැවසී ය. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ රෝගී තදබදයට කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස මාතෘ වාට්ටු Maternity Ward (සූතිකාගාරය / ප්‍රසූති වාට්ටුව) කෙටි කාලයක් කිලිනොච්චිය සහ චාවකච්චේරිය රෝහලේ පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවන් සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan), පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, මයිල්වාගනම් ජෙගදීස්වරන්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් (Mrs. Thanuja Murugeson), පළාත් සෞඛ්‍ය ලේකම් ජෙයරාණි පරමෝදයන් (Mrs. Jeyarani paramodayan), උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ (Dr. V.P.S.D. Pathirana), චාවකච්චේරිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය තංගරාජා ගාන්ත්දීපන් (Dr. Gandeepan Thangarajah) යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.



(මාධ්‍ය අංශය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
