Image

ජනාධිපතිතුමා 4G කුලුනු දාහක් හදන්න හදනකොට 5G තාක්ෂණය ඇවිත් ඉවරයි - නාමල් රාජපක්ෂ

ජනාධිපතිතුමා 4G කුලුනු දාහක් හදන්න හදනකොට 5G තාක්ෂණය ඇවිත් ඉවරයි - නාමල් රාජපක්ෂ

ජනාධිපතිතුමා 4G කුලුනු දාහක් හදන්නට සූදානම් වුව ද මේ වන විට 5G තාක්ෂණය පැමිණ ඇති බව ජනාධිපතිතුමාට මතක් කරන්න යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ….

රැස්වීම්වලට ගිහින් අලුත් බොරු කියනවා

"බොහොම ස්තූතියි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඉතින් විශේෂයෙන්ම අද මේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය ගැන කතා කරනවා. දැන් ඉතින් කට්ටිය හරි සතුටින් කතා කරන්නේ. එදා ගවේෂණය කරලා තැන් තුනකින් දෙකක එල්.එන්.ජී. (LNG) හම්බවුණා කියලා කිව්වම මෙයාලා හිනාවුණා. හැබැයි මං සතුටු වෙනවා විජිත හේරත් විදේශ අමාත්‍යතුමා ඒ ගැන පිළි අරගෙන පහුගිය කාලෙ ඒවා ගැන කතා කරා. හැබැයි ඉතින් ඔබතුමන්ලා දැන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇයි අර පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියනවා වගේ දැන් මෙතන පච කියලා ඊට පස්සේ මේක විනාශ කරගන්නේ නැතුව මේ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න මේ පනත පාවිච්චි කරයි කියලා අපි හිතනවා. දැන් ගරු සභාපතිතුමා ආණ්ඩුවට අවුරුදු දෙකයි කියලා මහා උජාරුවෙන් කියනවා. හරි සතුටින් කියන්නේ. හැබැයි ඉතින් ආණ්ඩුවට අවුරුදු දෙකක් කියලා උජාරුවෙන් කියන අයට අමතක වෙච්ච කාරණා බොහොමයක් තියෙනවා ගරු සභාපතිතුමා. දැන් ජනාධිපතිවරයා රට වටේ යනවා. හොඳයි, යන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ගිහිල්ලා අලුත් බොරුවක් කියලා එන එකනේ. කරපුවා කියන්න නැති හින්දා.

මෙරට උගතුන්ගෙන්, උපාධිධාරීන්ගෙන් 43%කට රැකියා නෑ

දැන් 4G කුලුනු දාහක් ගහනවලු. දැන් 5G ඇවිල්ලා තියෙන්නේ. ජනාධිපතිතුමාට මතක් කරන්න පොඩ්ඩක්. වැව් 400ක් හදනවලු. හොඳයි, හදන්න පුළුවන්නම් හොඳයි. හදන්න ඕනේ. හැබැයි ඉතින් කරන්නේ නැති එකනේ ගරු සභාපතිතුමා ප්‍රශ්නේ තියෙන්නේ.එතකොට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා කියනවා තාම සල්ලි වෙන් කරලත් නෑලු. තාම සල්ලි වෙන් කරලත් නෑ, ඒක ජනාධිපතිතුමාට මතක් කරලත් නෑ ගරු සභාපතිතුමනි.

දැන් රැකියා 120,000ක් දෙනවලු. දැන් මැතිවරණ වෙලාවේ උපාධිධාරී 35,000කට එකවර රස්සා දෙනවා කියලා ඡන්ද කාලෙ ගෙයින් ගෙට යැව්වා. අද වෙනකොට ඔබතුමන්ලා විශ්වාස කරන, ඔබතුමන්ලා ගේ ආර්ථික ප්‍රතිපත්තියට උපදෙස් දෙන IMF එක කියනවා මෙරට උගතුන්ගෙන්, උපාධිධාරීන්ගෙන් 43%කට රැකියා නෑ. දකුණු ආසියාවේ විරැකියාව සම්බන්ධයෙන් දරුණුතම තැනක ලංකාව තියෙන්නේ.

හැබැයි මේකට ඔබතුමන්ලා ගේ උත්තරේ මොකක්ද? ආණ්ඩුව ගන්නකොට උද්ධමනය සෘණ. මේ මාසේ 8.1යි. දැන් අවුරුදු දෙකක ජයග්‍රහණය ගැන කියවන අයට මේවා පේන්නේ නැද්ද? හැබැයි හරි සතුටින් ගරු සභාපතිතුමා කියන්නේ, හැබැයි උද්ධමනය අහස උසට. ආණ්ඩුව ගන්නකොට ආර්ථික වර්ධන වේගය 5.3යි, දැන් 4.1යි. දැන් මේ අවුරුදු දෙකට අඩු වෙච්ච එක පේන්නේ නැද්ද? අඩු ගානේ අඩු වුණේ ඇයි කියලා හොයනවද?

ජනාධිපතිට තමන් ගෙ හොරු පේන්නෙ නෑ

මං දැක්කා දැන් පහුගිය දවස්වල ජනාධිපතිතුමා හරි සතුටින් කියනවා එතුමා මේ ඇස් දෙක වහගෙන ඉන්නේ කෙඳිරිගාන්නෙ නැතුවයි කියලා. ඒක නම් ගරු සභාපතිතුමා කතාව ඇත්ත. ජනාධිපතිතුමා ඇස් දෙක බැඳගෙන ඉන්නේ. තමන්ගේ ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නනවා. වාර්තාවේ වැරදිකරු වෙලා ඇවිල්ලා, ජනාධිපතිවරයා ඇස් දෙක බැඳගෙන. පේන්නේ නෑ. වරායෙන් කන්ටේනර් 323ක් පන්නනවා. තමන්ගේ ලේකම්, හිටපු කස්ටම් එකේ නිලධාරියෙක්, කන්ටේනර් 323ක් වරායෙන් පන්නනවා. ජනාධිපතිතුමා ඇස් දෙක බැඳගෙන.

තමන්ගේ අමාත්‍යාංශයේ මුදල් ලේකම් වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් දානවා. අහන්න දෙයක් තියෙනවද ඉතින් ජනාධිපතිවරයා ඇස් දෙක බැඳගෙන හිටියම අර මනුස්සයා වැරදි එකවුන්ට් එකකට සල්ලි දාලා. එතකොට ඒ ඇස් දෙක බැඳගෙන. ඩොලර් බිලියනයක් ආයේ මේ ඡන්දෙට ගානක් නෙමෙයි, කළු කඩ මාකට් එකෙන්,කළු සල්ලි එළියට, කළු ආර්ථිකයක් කිව්වනේ. 2025, 26 අවුරුදු දෙක ඇතුළත ගරු සභාපතිතුමා ඩොලර් බිලියනයක් යවලා තියෙනවා. ඉස්සරහට එයි කාගේ කාගේ සල්ලිද කියලා, දැන් පුළුවන්නම් ඒකත් කියන්න රාජපක්ෂලගේ කියලා. ඒකත් කියන්න. මොකද ඉතින්, ඔබතුමන්ලාගේ හොරකම් ටික වහගන්න, එක එක එළියට එයි, එළියට එන දවසට තමයි කට්ටියට ගරු සභාපතිතුමා වැඩේ තේරෙන්නේ. ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල, ආණ්ඩුවෙන් මිලදී ගත්තු වී වලට සල්ලි ගෙවන්නේ නෑ, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. පොහොර, වේලාවට පොහොර ටික යන්නේ නෑ, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන.

දිට්වා වන්දි තවමත් නැහැ

දැන් දිට්වා කුණාටුව ආවනේ. දැන් ඒ වෙලාවේ මෙතනට ඇවිල්ලා ජනාධිපතිතුමා ම හරි උජාරුවෙන් කිව්වා ටකරමක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා කිව්වා. ඉඩමට ලක්ෂ 50යි, ගෙදරකට 50යි. අනේ ගරු සභාපතිතුමා දැන් දිට්වා ඉවර වෙලා අවුරුදු දෙකටත් ළං වෙලා දැන් දෙවෙනි කුණාටුවත් ඇවිල්ලා. තාම පළවෙනි එකේ වන්දි දීලත් නෑ. පළවෙනි එකේ නාය යනවා කියලා එම්.බී.ආර්.ඕ. එක අනතුරු අඟවපු තැන්වල මිනිස්සු බලයෙන් පදිංචි කරලා දැන් දෙවෙනි පාරටත් ඒ අයව අයින් කරනවා. පළවෙනි පාර ගංවතුරට අහුවෙලා විනාශ වෙච්ච ගේ හදාගන්න විදියක් නැතුව ඒ මනුස්සයෝ බොහොම අමාරුවෙන් ගේ හදාගෙන යනකොට දැන් දෙවෙනි එකටත් අහුවෙලා. හැබැයි තාම දිට්වා වෙලාවේදීවත් ආණ්ඩුව පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරගන්න මේ ආණ්ඩුවට ගරු සභාපතිතුමා බැරි වෙලා තියෙනවා. අමතක වෙලා තියෙනවා. දැන් අර ජනාධිපතිවරයා ඇස් දෙක වහන් ඉන්නකොට අර ගල් අඟුරු නැව් 19ක් ආවනේ ගරු සභාපතිතුමා, ඒ 19ම බාලයි. ඇයි ලොක්කා ඇස් දෙක වහන් නිදාගෙන ඉදලා තියෙන්නේ. ඒ ආපු 19නුත් දෙකක් ගිලලා. ඇයි මෙට්‍රික් ටොන් 1,20,000ක් අතුරුදහන්. ඇයි ජනාධිපතිතුමා කාලා බලලා තියෙන්නේ ඇස් දෙක වහගෙන. කාලා බලලා නෙමෙයිනේ ගත්ත එක, ගත්තට පස්සේ කාලා නෙමෙයි ගිලලා. ඊටපස්සේ මොකක්ද කරන්නේ? ඉමර්ජන්සි පර්චසින්ග් (Emergency purchasing) වලට යනවා. හදිසි මිලදී ගැනීම් වලට යනවා. ඒ නැව් හයෙන් දෙකක් බාලයි. එකක් හරවලා යවනවා, බාල එකක් ගොඩබානවා. එකක් හරවලා යවනවා ගරු සභාපතිතුමනි, බාල එකක් ගොඩබානවා. දැන් ඇයි හදිසි කැඳවීමක් මත මිලදී ගත්තු නැව් හයෙන් දෙකක් බාලයි නම්, එකක් හරවලා යවලා අනික් එකක් බාගන්නේ? මොකක්ද මේකේ හේතුව? ඉතින් ඒ හින්දා අද ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නෑ. අර මං දැක්කා ඇමතිවරයෙක් කියනවානේ මේ චාමර සම්පත් ඇමතිතුමාගේ ඇඟ ගැන. ඇඟවල් බලන්න ඕනේ නම් බලන්න ඕනේ මේ ඉස්සරහා ඉන්න අයගේ ඇඟවල් ටික. අද කවුරුත් නෑ වෙලාවට. නැත්නම් ඉතින් ඒ 159 අර මල් පැළ වෙලා එන කාලේ ඇඟවලුයි, අවුරුදු දෙකකට පස්සේ තියෙන වර්ධනයයි බැලුවම චාමර සම්පත්ට ඇඟිල්ල දික් කරන්න බෑ ගරු සභාපතිතුමනි.

උපාධිධාරීන්ට රැකියා කෝ…?

ඒ හින්දා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ දැන් ආණ්ඩුවට අවුරුදු දෙකක් ගියා. දැන් මේ අවුරුදු දෙකට අසූහාරදහසක් විදියට බොරු කිව්වා. අවුරුදු දෙක සමරන්නත් ජනාධිපතිවරයා රට වටේ ගිහිල්ලා බොරු කියනවා. ඒ හින්දා දැන් මේ රටේ ජනතාවට ඔබතුමන්ලා අලුත් පොරොන්දු මාලාවකුත් දීලා තියෙනවා, දැන් පරණ පොරොන්දු ඉවරයි. පරණ පොරොන්දු මාලාව දැන් ඉවරයි, දැන් අලුත් පොරොන්දු මාලාවක් යන්නේ. ඉතින් අඩුම ගානේ වැව් 400ක් නැත්නම් අඩුම ගානේ මේ නියඟ තියෙන පළාත්වල වැව් කීපයක් සුද්ධ කරලා දෙන්නකෝ ගරු සභාපතිතුමා.

අඩුම ගානේ උපාධිධාරීන් 1,20,000ක් කෙසේ වෙතත් ඔබතුමාලා ලණුවක් ඒ කාලේ පොරොන්දු වෙලා කැන්වසින් යවපු 35,000ට දෙන්නකෝ රස්සාවක්. අවුරුදු 45ට වැඩි අයට අනිවාර්යයෙන් පනත් වෙනස් කරලා දෙනවයි කිව්වේ. දැන් ඔබතුමාලා වෙනස් කරන්නේ වෙන පනත්, උපාධිධාරීන්ට පොරොන්දු වුණේ පනත් වෙනස් කරලා රස්සා දෙනවා කියලා. ඒ හින්දා අපි ඔබතුමන්ලාට කියන්නේ කරුණාකරලා දැන්වත්, දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙන කාලෙවත් සමරන්න, හැබැයි බොරුව නවත්තලා ජනතාවට වැඩ කරන්න."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න