Image

වෙඩි වැදී ඇතැ‍යි සැක කෙරෙන කාවන්තිස්ස ඇතුට ප්‍රතිකාර පමා ඇයි?

වෙඩි වැදී ඇතැ‍යි සැක කෙරෙන කාවන්තිස්ස ඇතුට ප්‍රතිකාර පමා ඇයි?

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතා ගේ පාදයකට වෙඩි වැදී ඇති බවට සැක පළ වී ඇති අතර, පාදයේ දණහිස ආශ්‍රිතව ඉදිමීමක් හේතුවෙන් ඇතාට ඇවිදීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඇතා ගේ ජීවිතය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. සැප්තැම්බර් 21 සහ 22 අතර කාලය තුළ මෙම තුවාලය සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවත්, ඇතා ගේ පාදයක දක්නට ලැබෙන ආබාධය හේතුවෙන් එය දැඩි වේදනාවකින් පසුවන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඇතාගේ තුවාලයට නිශ්චිත හේතුව සහ එහි බරපතළකම පශු වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කළ යුතු ය.

ගල්ගමුව වනජීවී නිලධාරීන් ඇතාගේ තත්ත්වය නිරීක්ෂණය කර ඇතැයි සඳහන් වන නමුත්, මේ දක්වා කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ වී නොමැති බවට චෝදනා එල්ල වී තිබේ. නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය මගින් ඇතාට ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වී ඇත්නම්, ඊට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් බලධාරීන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔවුහු පවසති.

මේ වනවිට කාවන්තිස්ස ඇතා ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටින බවත්, එය බිම ඇදවැටුණහොත් හෝ ජලයට බැස නැවත නැගිටීමට නොහැකි වුවහොත් තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බවත් පරිසරවේදීහු පෙන්වා දෙති. එවැනි අවස්ථාවක දී ඇතාට ප්‍රතිකාර ලබාදීම ද අතිශය දුෂ්කර විය හැකි බැවින්, කාලය නාස්ති නොකර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති. ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වහාම මැදිහත්වී කාවන්තිස්ස ඇතා සිටින ස්ථානය සොයාගෙන, සුදුසු පශු වෛද්‍ය කණ්ඩායමක් යොදවා සම්පූර්ණ පරීක්ෂාවක් හා අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකාවේ වනජීවී උරුමයේ වැදගත් සම්පතක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා ගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා අදාළ සියලු ආයතන කඩිනමින් එක්ව ක්‍රියා කළ යුතු බව පරිසරවේදීහු වැඩිදුරටත් පවසති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න