ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා රුපියල් 25000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ බරපතළ වැඩ සහිත වසර 05ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ස්ථිර කළා.
අදාළ සිර දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර ග්‍රාම නිලධාරීවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනා අයදුම් පතක් විභාගයට ගැනීම අවසර දීම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
2013 වසරේ ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටුකරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25000/-ක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රත්නපුර, කුඩාව වසමේ සේවය කළ මෙම විත්තිකාර ග්‍රාම නිලධාරියාට එරෙහිව 2014 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාල චෝදනාවලට වරදකරු කෙරුණු මෙම විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර පහක සිර දඬුවම් නියම කළා.
පසුව එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා.
එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය අවසානයේදී එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබුණා.
එම තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තියට පත් අදාළ විත්තිකාර හිටපු ග්‍රාම නිලධාරියා පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කළා.
එම අභියාචනා අවසර අයදුම් පත අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අභියාචක පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට එරෙහිව මහාධිකරණය විසින් පනවා තිබෙන දඬුවම නීතිමය වශයෙන් දෝෂ සහගත බව පෙන්වා දෙමින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා.
නමුත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරුට එරෙහිව මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව නිසි ලෙස සාක්ෂි ඇගයීමකින් අනතුරුව විනිසුරුවරයා විසින් ලබා දී තිබෙන බවයි.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බවත් නියෝග කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
