Image

පොලිස් ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් - වසන්ත මුදලිගේ

පොලිස් ශරීර කැමරා මිලදී ගැනීමේ ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් - වසන්ත මුදලිගේ

පොලිස් නිලධාරීන්ට පැළඳීම සඳහා ශරීර කැමරා (Body Cameras) මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ බරපතළ අක්‍රමිකතාවයක් සිදු වන බවට සැක සහිත යැයි ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පැවැසීය.

අද (27) නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, අදාළ ටෙන්ඩර් ලේඛනය සකස් කිරීමේදී පවා අවිධිමත් හා තාක්ෂණික නොසැලකිලිමත් භාවයක් පෙන්නුම් කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ සඳහන් කළේ, පොලිස් ස්ථානවලින් පිටත රාජකාරියේ නියැළෙන නිලධාරීන්ට මෙන්ම පොලිස් ස්ථාන තුළදී සිදුවන වධහිංසා වැළැක්වීම සඳහා පොලිස් ස්ථාන ඇතුළතද ආරක්ෂිත කැමරා සවිකිරීම අවශ්‍ය පියවරක් වුවද, මෙම යහපත් පියවර ක්‍රියාත්මක කිරීමේදී පවා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බරපතළ අක්‍රමිකතාවයන්ට මග පාදන බව පෙනී යන බවයි.

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කළ ටෙන්ඩර් ලේඛනයක්?

අදාළ ටෙන්ඩර් ලේඛනයේ (TOR) තාක්ෂණික පිරිවිතරයන්හි ගැටලු රැසක් පවතින බවත්, එය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කිසිදු අධ්‍යයනයකින් තොරව සකස් කර ඇති බව පෙනෙන බව ඔහු පැවසීය. ChatGPT හරහා ලේඛන සකස් කිරීමේදී ලැබෙන ඉරි පවා ඉවත් නොකර අදාළ ලේඛනය සකසා තිබීමෙන්, ලංකාවේ පොලීසියට ගැළපෙන තාක්ෂණික අවශ්‍යතා හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව සැලකිලිමත් වී නොමැති බව පැහැදිලි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

 

ලංසු අතර විශාල පරතරයක්

ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වී ඇති සමාගම්වල මිල ගණන් රුපියල් කෝටි 5 සිට කෝටි 36 දක්වා විශාල පරාසයක පැවතීම මගින් ද මෙම ප්‍රසම්පාදන ලේඛනයේ පවතින අවිධිමත් බව තහවුරු වන බව මුදලිගේ පැවසීය. එකම රාජ්‍ය ආයතනයකට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් කෝටි 17ක ලංසුවක්ද, එහිම අනුබද්ධ මොබිටෙල් සමාගම රුපියල් කෝටි 6ක ලංසුවක්ද ඉදිරිපත් කර තිබීමෙන් තාක්ෂණික පිරිවිතරයන්හි පවතින අපැහැදිලි බව තහවුරු වන බව ඔහු අවධාරණය කළේය.

 

මුලින් කුඩා ඇණවුමක් දී පසුව වැඩි මිලට ඇණවුම් ලබාදීමේ සැකයක්

කැමරා 500ක් වැනි කුඩා ප්‍රමාණයක් මිලදී ගැනීම තුළින් යම් පාර්ශ්වයකට වාසි සැලසෙන පරිදි මුලින් අඩු මිලට ඇණවුම ලබාගෙන, පසුව වැඩි මිල ගණන් යටතේ විශාල ඇණවුමක් ලබාදීමට මගපාදන 'මුට්ටිය දමා බැලීමේ' උපක්‍රමයක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් මතුවන බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම, මෙම ව්‍යාපෘතියට අන්තර්ජාල පහසුකම් සැපයීම සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවත්, රජයේ ඩිජිටල්කරණ උපදේශකවරයෙකු වන හාන්ස් විජේසූරියට සබඳතා පවතින සමාගමක් මෙයට සම්බන්ධ වී තිබීම තුළින් ළබැඳියාවන් අතර ගැටුමක් (Conflict of interest) නිර්මාණය නොවන්නේදැයි ඔහු විමසා සිටියේය.

එබැවින්, මෙම අවිධිමත් ටෙන්ඩරය වෙනුවට, තාක්ෂණික උපදේශනය හා නිසි සමාලෝචනයකින් පසුව විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැවත ආරම්භ කරන ලෙස ජන අරගල ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න