Image

2027න් පසු IMF වැඩසටහන අතහැරීම අගාධයකට වැටීමක් : 'දිනන දකුණ' සාමූහිකයෙන් රජයට විවෘත ඉල්ලීමක්

2027න් පසු IMF වැඩසටහන අතහැරීම අගාධයකට වැටීමක් : 'දිනන දකුණ' සාමූහිකයෙන් රජයට විවෘත ඉල්ලීමක්

2027 වසරේදී වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම අවසන් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පවතින ව්‍යුහාත්මක සබඳතා හදිසියේ අත්හැර දැමීමට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් දැරීමට උත්සාහ කරන ප්‍රයත්නය අනතුරුදායක මතවාදී සූදුවක් බව 'දිනන දකුණ' සාමූහිකය පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය සඳහන් කරන්නේ, මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසු බිඳෙනසුලු නමුත් ප්‍රතිස්ථාපනයක් කරා රට ගමන් කරමින් සිටින මොහොතක, අඛණ්ඩව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය රාමුවෙන් බැහැර වන ජනප්‍රියවාදී සහ අතාර්කික දේශපාලන තීරණ හමුවේ රට යළිත් බංකොලොත් භාවයේ අගාධයට ඇද වැටීමේ දැඩි අවදානමක් පවතින බවයි.

2027 වසර සඳහා යෝජිත අයවැය මගින් රුපියල් ට්‍රිලියන 4.99ක රාජ්‍ය වියදමක් සහ රුපියල් ට්‍රිලියන 3.8ක ණය සීමාවක් දක්වා ඇති බවත්, ඒ අනුව මෙරට ආදායම් මාර්ගවලින් පියවා ගත නොහැකි රුපියල් ට්‍රිලියනයකට ආසන්න මුදලක් නැවතත් ණය ලබා ගැනීම් හරහාම පියවා ගැනීමට සිදුවන බවත් එම නිවේදනයේ දක්වා ඇත. ධනය උත්පාදනය නොකොට ණය අරමුදල් බෙදාහැරීමේ පැරණි ජනප්‍රියවාදී ක්‍රමය මගින් අනාගතයේදී උද්ධමනය ඉහළ යාම, විදේශ සංචිත සිඳී යාම සහ පුරවැසියාගේ මිලදී ගැනීමේ ශක්තිය ක්ෂය වීම සිදුවිය හැකි බවට ඔවුහු හෙළි කරති.

එමෙන්ම 2028 වසරේදී ශ්‍රී ලංකාවට හිමිවන දැවැන්ත ණය සේවාකරණ වගකීම් සහ ණය ආපසු ගෙවීමේ චක්‍රය හමුවේ, සක්‍රීය IMF වැඩසටහනක අනුමැතියකින් තොරව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීම ප්‍රායෝගික නොවන මිරිඟුවක් බව පෙන්වා දෙන එම සාමූහිකය, ඉදිරි වසර කිහිපය සඳහාද දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් සහිත ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

එබැවින් 2027න් පසුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අනුප්‍රාප්තික නිරීක්ෂණ රාමුවකට හෝ මධ්‍යකාලීන වැඩසටහනකට බාධාවකින් තොරව එළැඹීම රටේ අනාගත මූල්‍ය ස්ථායීතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බව 'දිනන දකුණ' සාමූහිකය වැඩිදුරටත් අවධාරණය කරයි.

'දිනන දකුණ' සාමූහිකය නිකුත් කළ සම්පූර්ණ ලිඛිත නිවේදනය කියවන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න