Image

ලලිත්-කුගන් නඩුව: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි දීමට අධිකරණයට පැමිණෙයි

ලලිත්-කුගන් නඩුව: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි දීමට අධිකරණයට පැමිණෙයි

2011 වසරේදී යාපනයේදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා පිළිබඳ නඩුවට අදාළව, හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (සැප්තැම්බර් 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබා දුන් බව වාර්තා වේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔහු මෙලෙස කොළඹ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබූ අතර, යාපනය අධිකරණයේ සිට සාක්ෂි මෙහෙයවීම සිදු කෙරිණි. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 27 වන දින දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, ඉදිරි දින මෙම අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළේය.

 

අලුත්කඩේදී පැවැති නිහඬ උද්ඝෝෂණය

සියලු අතුරුදන් කිරීම් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරන ලෙස බලකරමින් අද පෙ.ව. 10.00ට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ, 2011 දෙසැම්බර් 09 දින ආරක්ෂක හමුදා පාලනය යටතේ තිබූ යාපනය අධි ආරක්ෂිත කලාපයකදී අතුරුදන් වූ මෙම සහෝදරවරුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවන බවට එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බව අධිකරණයේදී සාක්ෂි ලබා දී ඇති බවයි. 
"ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා 2011 දෙසැම්බර් 09 වැනිදා ආරක්ෂක හමුදා පාලනය යටතේ තිබූ යාපනය අධි ආරක්ෂිත කලාපයකදී පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. ඊට පසු සතියේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා ඔවුන් දෙදෙනා සිටින්නේ අත්අඩංගුවේ බව. ඔවුන් අධිකරණයකට ඉදිරිපත් කරන බවත් ඔහු පැවසුවා. නමුත් වසර 16ක් ගතවුණා, ලලිත් සහ කුගන් ගැන කිසිදු ආරංචියක් නෑ. අපි 2011දී අභියාචනාධිකරණයේ ඔවුන් දෙදෙනා සිටින තැන හෙලිදරව් කරන ලෙස ඉල්ලා හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළා. එහි විමර්ශන කටයුතු අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළා. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දුන් කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ තමන් කැබිනට් මාධ්‍ය හමුවේ එලෙස පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුන් උපදෙස් අනුව බව.."

වසර 16කට ආසන්න කාලයක් අතුරුදන්වූවන් වෙනුවෙන් කළ අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපතිවරයෙකු මෙලෙස සාක්ෂි කූඩුවට නැංවීමට හැකි වූ බවත්, බලහත්කාරයෙන් අතුරුදන් කළ දස දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් සත්‍යය හෙළිදරව් කර යුක්තිය ඉටුකරන තෙක් නෛතික හා දේශපාලන අරගලය නතර නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

WhatsApp Image 2026 09 29 at 2.02.10 PM

WhatsApp Image 2026 09 29 at 2.02.11 PM

WhatsApp Image 2026 09 29 at 2.02.15 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න