Image

"22 වැනි සංශෝධනය අවලංගු කිරීමට අලුතින් පත්වන පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා" – මහාචාර්ය ජී. එල්. පිරීස්

"22 වැනි සංශෝධනය අවලංගු කිරීමට අලුතින් පත්වන පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා" – මහාචාර්ය ජී. එල්. පිරීස්

පාර්ලිමේන්තුවේදී සම්මත වී දැනට ශ්‍රී ලංකා නීතියේ කොටසක් බවට පත්ව ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී පත්වන අලුත් පාර්ලිමේන්තුවක් මගින් සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට පූර්ණ බලය මෙන්ම යුතුකමක් සහ වගකීමක්ද පවතින බව මහාචාර්ය ජී. එල්. පිරීස් පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද(29) කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා සඳහන් කළේ වත්මන් පාර්ලිමේන්තුව යනු වසර පහක සීමිත කාලයකට පත්වූ භාරකාරයෙකු පමණක් බවත්, ජනතාව සතු පරමාධිපත්‍ය බලය අසාධාරණ ලෙස උදුරා ගැනීමට වත්මන් පාර්ලිමේන්තුව කටයුතු කර ඇත්නම් එය නිවැරදි කිරීම තව වසර තුනකින් පත්වන නව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීමක් වන බවත්ය.

"මොකද කිසිම පාර්ලිමේන්තුවකට නීතිය පිළිගත් මූලධර්මයක් අනුව අනාගත පාර්ලිමේන්තු වල අත් බැඳලා තියන්න පුළුවන්කමක් නැහැ. මේ පාර්ලිමේන්තුව මොනවා කළත් මොනවා සුදුසුයි කියලා විශ්වාස කළත් ඒ සියල්ලක්ම නිෂ්ප්‍රභ කිරීමටත්, ඊට හාත්පසින් වෙනස් වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත් කිසිම සීමාවකින් තොර බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනාගත පාර්ලිමේන්තුවට තිබෙනවා."යැයිද ඔහු පැවසීය.

ජනතා අයිතිවාසිකම්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට හානිවන නීති සම්පාදනයේදී සෘජුවම ජනමත විචාරණයක් හරහා ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බව පෙන්වා දුන් මහාචාර්යවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නීතිමය ගැටලු විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දෙනවාට වඩා, 1972 ව්‍යවස්ථාවේ පැවති ආකාරයේ විශේෂ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක්" ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවද අවධාරණය කළේය.
මාධ්‍ය සාකච්ඡාවේ මහාචාර්ය ජී. එල්. පිරීස්  පළකල සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න  මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න