Image

ෆවුසිට ලක්ෂ 66ක දඩයක්

ෆවුසිට ලක්ෂ 66ක දඩයක්

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබා දී තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම හේතුවෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට රුපියල් ලක්ෂ 66ක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසත් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලෙසත් ඊයේ (29) නියෝග කළේය.

එම වාහනය සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන භාර මූලධර්මය කඩ කර ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඊට අමතරව අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක්ද ඇතුළත් කරමින් සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පිටු භාගයක පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගනු ලැබීය. අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟතාව සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමට නෙදර්ලන්ත රජයෙන් ලබාදුන් වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය මඟින් ඔහුට වසර දහයකට අත්හිටුවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 4ක දඩ මුදලක් නියම කරන ලදි. මේ අතරතුර, අමාත්‍යවරයා මහජන මුදල් අවභාවිත කිරීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න  විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී, හිටපු අමාත්‍ය ෆවුසි  මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරමින් මෙම අවභාවිතය සිදුකර ඇති බවත්, එමඟින් මහජන භාර මූලධර්මය මෙන්ම සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩ කර ඇති බවත් අධිකරණයේ මතය විය. ඒ අනුව අදාළ වාහනය අවභාවිත කිරීමෙන් සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන 1.6ක මුදලක් මසක් ඇතුළතද, තවත් රුපියල් මිලියන 5ක මුදලක් මාස දෙකක් ඇතුළතද ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස නියෝග කරන බව තීන්දුවේ සඳහන් විය. (එකතුව රුපියල් මිලියන 6.6 හෙවත් ලක්ෂ 66කි). ඊට අමතරව අදාළ අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව ගැනීමේ පිටු භාගයක දැන්වීමක් සිළුමිණ, සන්ඩේ ඔබ්සවර්, තිනකරන් ජාතික පුවත්පත්වල මුල්පිටුවේ මාසයක් ඇතුළත පළ කරන ලෙසද අභියාචනාධිකරණය තවදුරටත් නියෝග කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අමිල කුමාරගේ ගේ උපදෙස් පරිදි නීතිඥ දිළුම් ද අල්විස්  පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය ෆවුසි  වෙනුවෙන් ‘රම්සි භාෂා’ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ රුවන්ත කුරේ  පෙනී සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂ, නීතිඥ ගයා රාජපක්ෂ  පෙනී සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න