ප්‍රවීණ මාධ්‍යවේදියකු, ගත්කතුවරයකු සහ ඡායාරූප ශිල්පියකු ලෙස දශක පහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ මනෝජ් රූපසිංහ මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
හිඟුරක්ගොඩ ප්‍රදේශය නිජබිම කරගත් රූපසිංහ මහතා කලා ක්ෂේත්‍රයට තිබූ දැඩි ඇල්ම හේතුවෙන් තරුණ වියේදීම කොළඹට පැමිණියේය. 1977 වසරේ සිට ‘සලරුව’, ‘සරසි’, ‘සත්සර’, ‘රැජින’, ‘අරලිය’ සහ ‘රස’ ඇතුළු සිනමා හා කලා පුවත්පත් රැසක වසර 30කට අධික කාලයක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කරමින් මෙරට කලාකරුවන් සහ කලා ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා සිය කැමරා කාචයට හසුකර ගත්තේය.
මාධ්‍ය ක්ෂේත්‍රයේ මුල් අවධියේදීම ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංග මහතා සමඟ හඳුනාගත් රූපසිංහ මහතා පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස ද කටයුතු කළේය. එම කාලයේදී ‘තුන්වැන්නා’ ඇතුළු නවකතා කිහිපයක් රචනා කරමින් ගත්කතුවරයකු ලෙස ද සිය දායකත්වය ලබා දුන්නේය.
පොත් පළ කිරීමට ආර්ථික හැකියාව නොමැති නවක ලේඛක ලේඛිකාවන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් ‘පොත් මිතුරෝ’ නමින් ලේඛක ලේඛිකාවන්ගේ සංවිධානයක් පිහිටුවීමට ද රූපසිංහ මහතා පුරෝගාමී විය. එම සංවිධානය හරහා කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොත් ප්‍රදර්ශන සංවිධානය කරමින් නවක ලේඛකයන්ගේ කෘති පාඨකයන් අතරට ගෙන යාමට ඔහු කටයුතු කළේය.
අන්තර්ජාල මාධ්‍යයට ද සම්බන්ධ වූ ඒ මහතා ‘eNews Lanka’ වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ අතර, ‘Talk with Mano’ යූටියුබ් නාලිකය ඔස්සේ කලාව සහ පොදු සමාජය අතර සමීප සබඳතාවක් ගොඩනැගීමට ද උත්සාහ කළේය.
මාධ්‍ය හා ලේඛන කටයුතුවලට අමතරව රංගනයට ද දායක වූ රූපසිංහ මහතා සිය කඩවසම් පෙනුම හේතුවෙන් චිත්‍රපට කිහිපයක ආගන්තුක චරිත සඳහා ද එක්ව තිබේ.
කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ පස්වරුවේ මීගමුව මහ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
තම මරණයෙන් පසු අවසන් කටයුතු පැය කිහිපයක් ඇතුළත නිහඬ හා චාම් අයුරින් සිදුකරන ලෙස මනෝජ් රූපසිංහ මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම අනුව අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
