ස්වාධීන අධිකරණය කෙරෙහි තමන්ගේ සම්පූර්ණ විශ්වාසය පවතින නමුත්, ඇතැම් නිලධාරීන් නීතිය අවභාවිත කරන බවද, සාක්ෂි ගොඩනැගීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණය සමග තමන්ට කිසිදු ගැටලුවක් නොමැති වුවද, නිලධාරීන් මෙලෙස සාක්ෂි සකස් කර ඉදිරිපත් කිරීම හමුවේ අධිකරණය පවා අසරණ වන බවයි. රජයට අවශ්‍ය පරිදි ඉතා ස්වල්ප දෙනෙකුගෙන් යුත් නිලධාරීන් පිරිසක් මෙලෙස කටයුතු කරන බවත්, එය මහජනතාව හොඳින් දන්නා කරුණක් බවත් ඔහු පැවසීය.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විපක්ෂය රිමාන්ඩ් කිරීමයි
වත්මන් ආණ්ඩුවට සංවර්ධන යෝජනාක්‍රම, පාරවල්, පාලම්, වරාය හෝ ගුවන්තොටුපළවල් ඉදිකිරීම් සම්බන්ධයෙන් පෙන්වීමට කිසිදු පුවතක් නොමැති බව චෝදනා කළ ප්‍රනාන්දු මහතා, ආණ්ඩුවට විරුද්ධ සහ අභියෝගයක් වන දේශපාලනඥයින් රිමාන්ඩ් කිරීම හා හිරගත කිරීම පමණක් ඔවුන්ගේ එකම ප්‍රතිපත්තිය බවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය.
එමෙන්ම ජනතාවගේ භාණ්ඩ මිල අඩු කිරීමට හෝ සහන සැලසීමට වැඩපිළිවෙළක් නොමැති පසුබිමක, පුද්ගලයින් රිමාන්ඩ් කිරීම සහ නඩු පැවරීම පමණක් ප්‍රධාන පුවත බවට පත්කරගෙන ඇති බවත්, ජනාධිපතිවරයා විවිධ දිස්ත්‍රික්කවල සංචාරය කරමින් පවසන්නේද එම කරුණුම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලනඥයින් අතට ගැනීම වැරදි පූර්වාදර්ශයක්
රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම අදාළ නිලධාරීන්ගේ සහ දෙපාර්තමේන්තුවල වගකීමක් මිස දේශපාලනඥයින්ගේ කාර්යයක් නොවන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී අවධාරණය කළේය.
"හැමදාම නීතිය මේ රටේ ක්‍රියාත්මක වුණා. කොහෙද ක්‍රියාත්මක නොවුණේ? නීතිය තියෙන්නේ ඒ අදාළ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක කරන්න, දේශපාලඥයෝ අතට ගන්න නෙමෙයි. ඒක වැරදි පූර්වාදර්ශයක්. දේශපාලඥයෝ නීතිය අතට ගෙන, නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා නම් ඒක ඉතාම වැරදියි. ස්වාධීන ආයතන ස්වාධීන ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ" යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
තම පක්ෂයේ ඊළඟ ජනරැලිය මාතරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
