Image

“සුදු අන්දන මුවාවෙන් චිකාගෝ මාෆියාවක් ක්‍රියාත්මකයි” - නීතිඥ රජිත ලක්මාල්

“සුදු අන්දන මුවාවෙන් චිකාගෝ මාෆියාවක් ක්‍රියාත්මකයි” - නීතිඥ රජිත ලක්මාල්

කළු රාජ්‍යයට සුදු අන්දන බව කියමින්, තවත් චිකාගෝ පන්නයේ මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් රජිත ලක්මාල් මහතා පවසනවා.

ඔහු අවධාරණය කළේ එය කළු රාජ්‍ය කට්ට කළු කිරීමේ සූක්ෂම වැඩපිළිවෙලක් බවයි.

සැප්තැම්බර් (30) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ නීතිඥ රජිත ලක්මාල් මහතා පෙන්වා දුන්නේ, රුපියල් මිලියන 20කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 465 අඩංගු කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමෙන්ම කළු රාජ්‍ය සුදුකරන ජනාධිපතිවරයාගේ ක්‍රියාපිළිවෙතේ සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රජිත ලක්මාල් මහතා මෙසේද පැවැසීය.

“රහසිගතව ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වරායේ කන්ටේනරයක් තිබී මිලියන ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 465ක් සොයා ගත්තා. මේක ගොඩබිමදී හමුවූ විශාලම අයිස් මත්ද්‍රව්‍ය තොගය කියලත් පොලිසිය කිව්වා. එහෙම දෙයක් කරපු රන්මල් කොඩිතුවක්කු ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා පැය තුනක් තිස්සේ ප්‍රශ්න කළා. මේ දේවල් හරියට සිදුවෙන්නෙ හොලිවුඩ් චිත්‍රපටවල වගේ. චිකාගෝ පන්නයේ වැඩ අපි ඒවායේ දකිනවා පොලිස් නිලධාරියෙක් මැදිහත් වෙලා කුඩු අල්ලනවා. ඊට පස්සේ කුඩු ගෙනාපු ගෝඩ්ෆාදර්ට තරහ යනවා. ඔහු කතා කරනවා පොලිසියේ ඉහළම නිලධාරියාට. එහෙම නැත්නම් ඉහළ බලධාරියෙකුට ඊට පස්සේ කුඩු අල්ලපු නිලධාරියාගේ කොන්ද කඩනවා. එයාගෙන් ප්‍රශ්ණ කරනවා. ඒයා ස්ථාන මාරු කරනවා. අද මේ වෙලා තියෙන්නෙත් ඒකමයි.”

මෙම කටයුත්තේදී පොලිසිය සිය රාජකාරිය අකුරටම ඉටුකර ඇතත්, ඔවුන්ට ඒ සඳහා උසස්වීම් වෙනුවට, වන්දිය ගෙවීමට සිදුව ඇති බවත් පැවසූ නීතිඥවරයා පෙන්වා දුන්නේ, ඒ වෙනුවෙන් CID යාමටත්, ස්ථානමාරු ලබමින් දඬුවම් විදීමටත් ඔවුන්ට සිදුව ඇති බවයි.

මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ අඩුවක් පවතින බවත්, එවැනි පසුබිමක, ඒ සඳහා බහාලුම් යොදාගන්නා බවට වූ සැකයක් මත මෙම වැටලීම සිදුකළ බවත් පවසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේ මාධ්‍යයට සිදුකළ අදහස් දැක්වීමකට අදාළ හඩපටයක් ද නීතිඥ රජිත ලක්මාල් මහතා එහිදී ප්‍රචාරය කළා.

එහිදී ප්‍රශ්ණ කර සිටියේ, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පත් අශෝක ධර්මසේන යන මහත්වරුන් නීත්‍යානුකූලව අවසර ලබාගනිමින් සිදුකළ මේ වැටලීම අවසානයේ නීතිගරුක පොලිස් නිළධාරීන් අධෛර්යමත් කිරීමේ ක්‍රියාවලියක් දක්වා පොලිස් දෙපාර්තමේන්තුව පත් කර ඇත්තේ කාගේ උවමනාවටද යන්නයි.

“රටම දන්නවා කන්ටේනර් 323ක් පන්නපු සිද්ධිය. ඒ ගැන විමර්ශනයක් සිදුකළ කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර එයාගේ හමස් පෙට්ටියේ දාගෙන, දැන් අහන ප්‍රශ්නවලට එයාලට උත්තර දෙන්න බැහැ. එහෙම පන්නපු කන්ටේනර් 323 හි කුඩු නෑ කියල, මත්ද්‍රව්‍ය නෑ කියලා පොලිස්පතිතුමාට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? මේවා පන්නද්දී නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනරාල් විදිහට කටයුතු කළේ, සීවලී අරුක්ගොඩ මහත්තයා, එයා පරීක්ෂණ කරනවා කිව්වා. ඒකට සම්බන්ධ නිළධාරීන්ට විනය පියවර ගන්නවා කිව්වා. එයා ඇහුවේ එයාගේ බෙල්ල ගහලා යන එකක් නෑ නේද කියලා. එයාගේ බෙල්ල ගියේනම් නෑ. එයාගේ ඔළුවට ඔටුන්නක් වැටුනා. විශ්‍රාම ගිය අරුක්ගොඩ මහත්තයා දැන් ජනාධිපති අතිරේක ලේකම්ධුරයක් අරගෙන සතුටින් ඉන්නවා. පන්නපු කන්ටේනර් 323 නේ කුඩු අයිස් තිබුනද කියලා අපි දන්නෙත් නෑ. ඕක තමයි මේ ආණ්ඩුවේ කළු රාජ්‍ය සුදු කරන ක්‍රමය.”

මේ සම්බන්ධයෙන් පවතින නීති හා නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නීතිඥවරයකු වන තමන්ට ඇතැයි පැවසූ රජිත ලක්මාල් මහතා පෙන්වා දුන්නේ, වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු කිරීම තුළ, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වන නීති ක්‍රියාවලියට මුළුමනින්ම අඩපණ වන බවයි. ඒ හරහා ආණ්ඩුවේ අවශ්‍යතාව පැහැදිලි කරගත හැකි බවත්, මත්ද්‍රව්‍යයට එරෙහි ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හා උනන්දුව හීන කිරීමේ යටි අරමුණක් ඒ තුළින් ක්‍රියාත්මක වන බවට පැහැදිලි සැකයක් ඇති බව බවත් ඔහු කියා සිටියේය.

“මේක චිකාගෝ මාෆියාවක්. ඒ නිසා පැහැදිලිවම මේ තියෙන කළු රාජ්‍ය සුදුකරන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නෑ. ඔවුන්ට අවශ්‍ය මේක තවත් කට්ට කළු කරන්නයි. එහෙම වුණාම තමයි ආණ්ඩුවට එල්ලවෙන මඩ පාරවල් පෙනෙන්නේ නැති වෙන්නේ. මේ ආණ්ඩුව අල්ලපු කිසි හොරෙක් නෑ. දැන් මේ විභාගවන නඩු සියල්ල මේ ආණ්ඩුවට කලින් දාපු නඩු. ඒවා තමයි මේ විභාග වෙන්නේ. අනික් පැත්තෙන් මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ වාර්තා වුණ ගල්අගුරු වංචාව, කන්ටේනර් 323ක් පැන්නීම, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 වංචාව වැනි දේවල් ගැන වගේ වගක් නෑ. කළු සුදුකරන්න නම් මේවත් ආණ්ඩුව හොයන්න අවශ්‍යයි."

වැඩිදුරටත් අදහස් දැක්වමින් රජිත් ලක්මාල් මහතා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රියාවලිය සමාජයට අතිශ්‍ය හානිදායක බලපෑම් එල්ල කළ හැකි බවයි. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකතුමන්ලා, දෙමාපියන් ඇතුළු සමාජයේ සියළු පාර්ශ්වවල අවදානය යොමු විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියා.

ඒ අනුව ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවේ කියා පිළිවෙත සම්බන්ධයෙන් වඩාත් සමීපව අධ්‍යයනය කරමින් ඉදිරි තීන්දු තීරණ ගැනීම වගකීමක් ඇති සමස්ත රටවැසියන් මත පැටවී ඇති බවත් ඔහු අවධාරණය කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න