IMFහත්වැනි සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකින්(Staff-Level Agreement) තොරව සංචාරය අවසන් කර තිබීම සහ IMFනියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව අතර පැවැත්වූ සාකච්ජාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා අද (01) කරුණු පැහැදිලි කළා.
එහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ.., “IMF වැඩසටහනේ යම් යම් දේ ගැන රජය සහ ඔවුන් අතර එකගතාවක් නෑ..., ඉන්ධන සඳහා සහන ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර දින දෙක, තුනක් යද්දී නැවතත් තෙල් මිල වැඩි කරන්න වුනා.” යනුවෙනි.
රට බංකොලොත්භාවයට පත්වීමෙන් අනතුරුව IMF සමඟ ඇතිකර ගත් එකඟතා හරහා ආර්ථිකය ක්‍රම, ක්‍රමයෙන් ස්ථායීකරණයට ලක්වූ බවත්, එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම පමණක් වත්මන් රජය විසින් සිදුකරමින් යන බවත් මහචාර්යවරයා පෙන්වා දුන්නා.
“ආර්ථික ස්ථායීකරණ අරමුණ පවත්වා ගැනීම පමණක් ප්‍රමාණවත් නෑ රටක ආර්ථිකයක් වර්ධනය කරන්න, මේ ගතවූ වසර දෙක තුළ ආර්ථිකයේ දිගුකාලීන පරිවර්ථනයක් කරා යන්න අවශ්‍ය වර්ධනීය පිම්ම පනින්න මේ රජය සමත්වෙලා නෑ. තමන් බලයට එද්දී තිබුණ ප්‍රගතිය ඒ විදිහටම පවත්වා ගැනීම අතින් ආණ්ඩුව සමත්, ඒත් ඒ ප්‍රගතිය දියුණුව කරා ගෙනයාමේදී ආණ්ඩුව අසමත්”
කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමේ වර්තමාන තත්ත්වයත්, ඒ තුළ රජය මුහුණදී ඇති ගැටළු පිළිබඳවත්, එකඟතා බිදවැටීම් හරහා අනාගතයේ මුහුණදිය හැකි අභීයෝග පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළා.
වැඩි නොකරන බව කියූ ඉන්ධන මිල ඊයේ රාත්‍රියේ වැඩි කළේ ඇයි ?
” මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩපිළිවෙල තුළ ආර්ථිකමය වශයෙන් වූ ප්‍රතිපත්තිමය කරුණු පිළිබද ආණ්ඩුව හා මූල්‍ය අරමුදල අතර හොඳ එකගතාවක් පවතින බව පැහැදිලියි. නමුත් ගැටලුව වෙන්නේ මේ යටතේ ක්‍රියාත්මක යම් යම් වැඩසටහන්, ව්‍යාපෘති ගැන දෙපාර්ශවය අතර පැහැදිලි එකගතාවක් නොතිබීමයි. බලශක්ති පිරිවැයට අදාළවන පරිදි මිල ගණනය කිරීමට තමයි දෙපාර්ශ්වයේම එකගතාවය තිබුණේ. ජනාධිපතිවරයා පසුගිය මැයි මාසයේදී මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම්දී තිබුණේ සැප්තැම්බර්වලින් පස්සේ ඉන්ධන සඳහා සහන නොදෙන බව. එහෙම කිව්ව ජනාධිපතිවරයා පසුගියදා පැවැති ජනහමුවකදී කිව්වා තවත් මාස 03ක කාලයකට ඉන්දන සඳහා සහන පැකේජයක් හඳුන්වා දෙනවා කියලා. ඉතිං මේ වගේ තත්ත්වයන් ඉතා අවිනිශ්චිත තත්ත්වයන් වන නිසා මේ වගේ දෙපැත්ත සනසන ක්‍රියා ගැන මූල්‍ය අරමුදලට ප්‍රශ්ණයක් මතුවෙනවා. ඒ අනුව තමයි ඉන්ධන සඳහා සහන පැකේජයක් දෙනවා කියල, දින කිපයකට පස්සේ ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්න ආණ්ඩුවට සිදුවුණේ. ජනාධිපතිවරයා මොනවා කීවත්, ඇත්ත තමයි මේ. එහෙම කීවට කරන්න බෑ. එහෙම කරන්න පුලුවන් ටීම් එකක් මේ ආණ්ඩුවෙත් නෑ.”
මැදි ආදායම් ප්‍රභවයන්ගේ අවිනිශ්චිතතාවක්...
මධ්‍ය කාලීන ආදායම් මාර්ග පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය ද රටේ අනාගත ආර්ථික පදනම බිදදැමීමට හේතුවක් විය හැකි බව මහාචාර්යවරයා පවසනවා. බදු ආදායම වැඩිවීම හේතුවෙන් රජයේ ආදායම වැඩිවී ඇතත්, 2025 වසරේ වාහන ආනයනය මත පනවා තිබූ අසීමිත බදු මත අදායම ඉහළ ගියත් එය දිගුකාලීන ආදායම් ප්‍රභවයක් ලෙස අඛණ්ඩව පවත්වා ගත නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් ආර්ථික ස්ථාවරත්වය සඳහා අනුගමනය කරන දිගුකාලීන ක්‍රමවේද පිළිබඳ පැහැදිලි පිළිතුරක් IMF වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද මහාචාර්ය ප්‍රසන්න පෙරේරා අවධාරණය කළා.
“ආයෝජන වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව මූල්‍ය අරමුදල විසින් පෙන්වාදී ඇතත්, ආණ්ඩුව ඒ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැහැ. ඒක ප්‍රබල ගැටළුවක්. ප්‍රාග්ධන වියදම් උපයෝජනය වෙලා. 2026 වසර සඳහා වෙන්කර ඇති අරමුදල්වලින්ද මේ දක්වා වැය කර ඇත්තේ 20%ට අඩු ප්‍රමාණයක්. ඊට හේතුව මේ රජයටම ආවේණික ප්‍රසම්පාදන ගැටලු විසදා ගැනීමට නොහැකි වීම, අනුමැතීන් ලබාදීමේ ප්‍රමාදය සහ කිසිවෙකු විසින් වගකීම් බාරනොගැනීම යන ගැටළු.”
සම්මතය අනුව උද්ධමනය 5%ක අගයක පවත්වාගත යුතු වුවත්, එම අගය 8% ට වැඩි අගයක අඛණ්ඩව පැවතීමත්, විනිමය අනුපාත අගයන් අස්ථාවර නොවීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කනස්සල්ලට හේතුවී ඇති බවද ප්‍රසන්න පෙරේරා පෙන්වා දුන්නා.
2027 වසර සඳහා වූ අයවැය යෝජනා සැකසෙන්නේ කෙසේදැයි මූල්‍ය අරමුදල දැඩි විමසිල්ලෙන් පසුවන බැවින් ජනතාවට සහන අපේක්ෂා කිරීමද ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව මහාචාර්යවරයා අවධාරණය කළා. ඒ අනුව මූල්‍ය අරමුදලේ අවසන් නිගමනය අයවැය සම්මත වීමෙන්ද පසුව ප්‍රකාශ විය හැකි බැවින්, ඒ සඳහා ගතවන කාලය ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනගා ගැනීමට හේතුවිය හැකි බවද ඔහු කියා සිටියා.
ආර්ථික අවදානම ගැන IMF ප්‍රධානීන් සහ සජිත් අතර සාකච්ඡාවක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ඇතුළු දූත පිරිසක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු නියෝජිත පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකළ බව කියා සිටි මහාචාර්යවරයා එහිදී සජිත් ප්‍රේමදාස අවධාරණය කළ කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් ද සිදු කළා.
සජිත්ගෙන් දත්තවලින් ඔබ්බට ගිය වැඩපිළිවෙලක්...
“ඇත්තටම සමස්ථ සාර්ව ආර්ථික දත්තවලින් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් විපක්ෂ නායකතුමා විසින් මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත ඉදිරිපත් කළා. දරිද්‍රතාවය ඉහළ යාම, උද්ධමනයේ අසීමිත ඉහළයාම, පවුල්වල ආදායම් පහළ යාම, විරැකියාවේ වේගවත් වැඩිවීම, ව්‍යාපාර කඩාවැටීම වගේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කර බිම් මට්ටමේ පවතින ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්නා ලෙස විපක්ෂ නායකවරයා මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළා. අධික බදු බර, වෘත්තිකයින්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වයන්, වක්‍ර බදු හමුවේ අසරණවී සිටින අඩුආදායම්ලාභීන් ගැනත් මෙහිදී විපක්ෂ නායකතුමා අවධානය යොමු කළා. ඒ වගේම අස්වැසුම වැනි වැඩසටහන්, දුප්පත්කම වැඩිවීම වගේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන දත්ත සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිත තත්ත්වය ගැනත් අපි මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. මොකද සත්‍ය දත්ත නැතිව සංවර්ධනය කරා යන්න බෑ. අපි යෝජනා කළා මූල්‍ය අරමුදලට සත්‍ය දත්ත සමඟ වැඩකරන ලෙස රජයට දැනුම් දෙන්න කියලා.”
එමෙන්ම 2027 වසරේ DSA එක අවසන් වූ පසු අනුප්‍රාප්තික වැඩසටහනක් හෝ ඒ හා සමාන අවබෝධයක් සහිත වැඩපිළිවෙලකට පැමිණිය යුතු බව විපක්ෂ නායකවරයා මූල්‍ය අරමුදලට යෝජනා කළ බව ද මහාචාර්ය ප්‍රසන්න පෙරේරා අවධාරණය කළා.
ආණ්ඩුව පොහොසත් - ජනතාව දුප්පත්..
“දරිද්‍රතාව අඩුකළ හැකි, අපනයන දිරිගැන්විය හැකි, කෘෂි, සංචාරක හා විදුලිබලය වැනි ක්ෂේත්‍රවලට එල්නිනෝ වැනි දේශගුණික බලපෑම් හරහා සිදුවිය අවදානම් පුරෝකතනය කර පෙර සූදානම්විය යුතු බවටත් විපක්ෂනායකවරයා එහිදී යෝජනා කළා. ඒ වගේම ආර්ථික පිඩනය හමුවේ කාන්තාවන්ට, අනෙකුත් අවදානම් කණ්ඩායම්වලට සහන සැලසීම වගේම පොදු ජනතාවට සහන ලබාදිය හැකි විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කිරීමේ වැදගත්කමත් අපි මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා.”
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා අවධාරණය කළේ, ඉතිහාසය පුරා බදු ආදායම් වර්ධනය වීම ජනතාවගේ ආදායමේ වර්ධනයට සාපේක්ෂව සිදු වුවද, වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාවගේ ආදායම කිසිදු අයුරකින් වර්ධනයක් නොවූවත් රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම සඳහා රජය බදු පිට බදු පනවමින් සිටින බවයි.
මෙම විකෘති තත්ත්වයේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, “ආණ්ඩුව පොහොසත් - ජනතාව දුප්පත්” යුගයක් නිර්මාණය කිරීම බවද ඔහු පෙන්වා දුන්නා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
